පෝල් පොග්බාට රුපියල් කෝටි 1922ක ලන්සුවක්


ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ හා ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක පෝල් පොග්බා පාපන්දු ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ලද ක්‍රීඩකයා බවට ඉදිරියේදී පත්වීමට නියමිතය. ඒ ස්ටර්ලිං පවුම් මිලියන 100ක් (දළ වශයෙන් රු.කෝටි 1922) ගෙවමින් ඔහුව ජුවෙන්ටස් කණ්ඩායමෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මිලදී ගැනීමට සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති හෙයිනි.

වැඩිම වටිනාකමකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස මෙතෙක් වාර්තා පොතට ඇතුළත්ව සිටියේ, ටොටන්හැම් පාපන්දු කණ්ඩායමේ සිට රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමට එක්වූ ගැරත් බේල්ය. ඔහුව ලබාගැනීම සඳහා ස්ටර්ලිං පවුම් මිලියන 85ක් (දළ වශයෙන් රු.කෝටි 1634 )රියල් මැඩ්රිඩ් කණ්ඩායම වැය කර තිබුණි.

කෙසේ වෙතත් ස්ටර්ලිං පවුම් මිලියන 86ක (දළ වශයෙන් රු.කෝටි 1653) වටිනාකමකට පෝල් පොග්බාව මිලදී ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ජුවෙන්ටස් කණ්ඩායම මේ වනවිට සාකච්ඡා පවත්වමින් ඇති අතර, ජුවෙන්ටස් කණ්ඩායම ඒ සඳහා ස්ටර්ලිං පවුම් මිලියන 100ක් ඉල්ලා තිබේ. මේ හේතුවෙන් පොග්බාව මිලදී ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම යම් මැලිකමක්ද පළකර ඇති අතර, ජුවෙන්ටස් කණ්ඩායම පොග්බාව විකිණීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සිය උත්සාහය අත්හැර නොමැත. මේ වනවිටත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ස්ලාටාන් ඊබ්‍රාහිමොවිච් ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඊබ්‍රාහිමොවිච්ගේ අනෙක් සහයකයා ලෙස පොග්බාව මිලදී ගැනීමට නියමිතය. යම් හෙයකින් පොග්බාව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මිලදී ගතහොත් එදාමෙදාතුර පාපන්දු ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පොග්බා පත්වනු ඇත.

 



Recommended Articles