එංගලන්තය පළමු තරගය දිනයි


ඔස්ට්‍රේලියාව ලකුණු 169 කින් පරාජයට පත් කරමින් කාඩිෆ්හිදී පැවැති අළු බඳුන පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. ඊයේ (11දා) අවසන් වූ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 412 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 242 ක් පමණි. ඔස්ට්‍රේලියානු ඉනිම යම් තරමකට ඔසවා තැබූ මිචෙල් ජොන්සන් ලකුණු 77 ක් වාර්තා කළේය. එංගලන්තය වෙනුවෙන් මොයින් අලි හා ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3 බැගින් දවාළූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 430 ක් රැස් කළේය. එංගලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් ලකුණු 134 ක් රැස් කළේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් කඩුලු 5 ක් දවාළීමට සමත් විය.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 289 ක් පමණි.

ආරම්භක පිතිකරු ක්‍රිස් රොජර්ස් ලකුණු 95 ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3 ක් දවාළීය.

කෙසේ වෙතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 289 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නනෝ සමත්වූහ. ඉයන් බෙල් හා ජෝ රූට් පිත්තන් සාර්ථක වෙමින් ලකුණු 60 බැගින් රැස් කිරීමට සමත් වූහ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනි ඉනිමේදී පන්දු යැවීමෙන් නේතන් ලයන් කඩුලු 4 ක් දවාළීය.

තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේ එංගලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ජෝ රූට්ය. මේ අනුව තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ජයගෙන එංගලන්තය ඉදිරියෙන් සිටියි.

තරගවෙලියේ දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා ලෝඩ්ස් පිටියේදී පැවැත්වේ.

එංගලන්ත පළමු ඉනිම  430/10 (පන්දුවාර 102.1)

ජෝ රූට්  134 (පන්දු 166, 4x17), මොයින් අලි  77 (පන්දු 88, 4x11), ගැරී බැලන්ස්  61 (පන්දු 149, 4x8), මිචෙල් ස්ටාක් 5/114 (පන්දුවාර 24.1), ජොස්  හේස්ල්වුඩ් 3/83 (පන්දුවාර 23)

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම  308/10 (පන්දුවාර 84.5)

ක්‍රිස් රොජර්ස්  95 (පන්දු 133, 4x11,6x1), මයිකල් ක්ලාක්  38 (පන්දු 52, 4x6), ස්ටීවන් ස්මිත්  33 (පන්දු 56, 4x5), ජේම්ස් ඇන්ඩර්සන්  3/43 (පන්දුවාර 18.5), ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/60 (පන්දුවාර 17)

එංගලන්ත දෙවැනි ඉනිම  289/10 (පන්දුවාර 70.1)

ඉයන් බෙල්  60 (පන්දු 89 , 4x11), ජෝ රූට්  60 (පන්දු 88, 4x9), බෙන් ස්ටෝක්ස් 42 (පන්දු 59, 4x9), නේතන් ලයන් 4/75 (පන්දුවාර 20.1), මිචෙල් ස්ටාක් 2/60 (පන්දුවාර 16)

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම  242/10 (පන්දුවාර 70.3)

මිචෙල් ජොන්සන්  77 (පන්දු 94, 4x9, 6x2), ඩේවිඩ් වෝනර්  52 (පන්දු 86, 4x6, 6x1), ස්ටීවන් ස්මිත්  33 (පන්දු 56, 4x5), ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/39 (පන්දුවාර 14), මොයින් අලි  3/59 (පන්දුවාර 16.3)

 



Recommended Articles