ආසියානු යොවුන් දැල්පන්දුව දිනන්න ශ්‍රී ලංකාව සූදානම්


මැයි මස 06 වැනිදා දකුණු කොරියාවේදී ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 21න් පහළ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය (Asian Youth Netball Championship) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (30 දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පසුගිය වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක වන නදී ප්‍රනාන්දුට හිමිව ඇති අතර, පසුගිය මාස 03ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නාවලපිටියේදී නේවාසිකව පුහුණුවීම් කටයුතු සිදුකළේය.

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය, දකුණු කොරියාවේ 'ජියොංජි' නගරයේ හාවාසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව එහි 'ඒ' කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළත් කාණ්ඩයට හොංකොං, තායිලන්තය, මාලදිවයින හා පාකිස්ථානය ඇතුළත්ව තිබේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය පසුගියවර ශූරතාව දිනූ කණ්ඩායමේ පුහුණුකාරිනී තමාරා ලියනගේට හිමිව ඇති අතර, ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීමේ හා සමූහ ඡායාරූප ගැනීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි  ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීහු හා දැල්පන්දු සංගමයේ නිලධාරීහු එක්ව සිටියහ.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

නදී මධුෂිකා ප්‍රනාන්දු (නායිකා), කවීතා රාජපක්ෂ, සපුමලී දිසානායක, ටී.එන්. හපුආරච්චි. ඩී.ජී. පූර්ණි රුක්ෂානි, මල්ෂා රත්නායක, සචිනි හිරුණිකා රොද්‍රිගු, තරුෂි දුලාංජි ඉලංගරත්න, හෂිනි පෙරේරා, චාරුනී මන්දිරා සම්පත්, නිර්මාණි පෙරේරා, එල්.ආර්.ඩී. පෙරේරා, චතුනි හේෂානි, රවින්‍යා මල්පෝරු, ජී.වී. අකිලා සංජි, පුහුණුකාරිනිය - තමාරා ලියනගේ  

ඡායාරූප - ඉසුරු පෙරේරා

AID_6992 AID_7007 AID_7014 AID_7017 AID_7032



Recommended Articles