MH370 සෙවුම් අත්හිටුවයි


මීට වසර 3කට පමණ පෙර ඉන්දියානු සාගර කලාපයේදී අතුරුදන් වූ MH370 යානයේ සෙවුම් අත්හිටුවීමට තීරණය කිරීම වගකීමෙන් තොර තීරණයක් බව එම යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු චෝදනා කරති.

චීනයේ බීජිං නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා ගමන් කරමින් තිබියදී 2014 මාර්තු 08 වැනිදා යානය අතුරුදන් වන විට එහි පුද්ගලයන් 239 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

කෙසේ වෙතත්, යානය සොයා ලෝක ඉතිහාසයේ එදාමෙදාතුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් කිසිදු හෝඩුවාවක් හමු නොවූ අතර, සමස්තයක් ලෙස වර්ග කිලෝ මීටර් 120,000 ක පමණ සාගර කොටසක් ආවරණය කර තිබුණි.

මේ කාලය තුළ යානයේ සුන්බුන් බවට විශ්වාස කෙරෙන කොටස් කිහිපයක් මැඩගස්කර් ආශ්‍රිතව හමුවූ අතර, ඒවා බොහෝවිට බෝයිං 777 වර්ගයේ යානය කොටස් බව පසුව තහවුරු කෙරිණි.

මෙම යානය සොයා මුහුදු පතුලේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අලුත් ගිනිකඳු, නැංගුරම්, අතුරුදන් වූ නෞකා ආදිය පිළිබඳ තොරතුරු රැසක් හමුවී තිබුණි.

මෙම කලාපයේ මුහුදු පතුල පිළිබඳ සිදුකළ සෝනාර් සිතියම්ගත කිරීම්, සඳ මතුපිට සිතියම් තරම් මිනිසාට හුරු නොවන බවද පැවසෙයි.

ඒ අනුව, මෙම සෝදිසි මෙහෙයුමේදී අපට මෙතෙක් හමු නොවූ සුවිශේෂී තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වුවත්, මැලේසියානු යානය පිළිබඳ කිසිදු ආකාර හෝඩුවාවක් නොවීය.



Recommended Articles