සෙවොල් යාත්‍රා අනතුරේ තහවුරු වූ මරණ 244 දක්වා ඉහළ යයි


දකුණු කොරියාවේදී මුහුදුබත් වූ සෙවොල් යාත්‍රා අනතුරින් මේ වනවිට හමුවී ඇති මළ සිරුරු සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර, දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුඑන්-හයි අනතුරට පත් යාත්‍රාවේ ගමන්කළ මගීන්ගේ ඥාතීන් හමුවීමටද අද කටයුතු කර තිබුණි.

එහිදී, අප්‍රේල් 16 වැනිදා මුහුදේ නොපෙනී ගිය යාත්‍රා අනතුරට වගකිව යුතු පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බවද ජනාධිපතිනිය අවධාරණය කළාය.

අනතුරට පත්වන අවස්ථාවේ මෙම යාත්‍රාවේ මගීන් 476 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, දිවි බේරාගත් පිරිස 174ක් පමණි. එමෙන්ම තවමත් අතුරුදන් වූ පුද්ගලයන් පිරිස 58කි. ඒ අනුව, සමස්තයක් ලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් 300 ඉක්මවන බව පැහැදිලිය.

මේ අතර යාත්‍රා අනතුර සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන්නන් පෙන්වාදී තිබුනේ යාත්‍රාව වෙත අධික බරපැටවීම සම්බන්ධයෙන් එහි හිමිකරුවන්ට කලින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණත්, ඔවුන් එය නොසලකා හැර ඇති බවය.

යාත්‍රාව අනතුරට පත්වූ ස්ථානයට ආසන්න ජින්ඩෝ දූපත් වෙත ගිය ජනාධිපතිනිය විපතට පත්වූවන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමග බොහෝ වේලාවක් ගතකළ බව පැවසෙයි.   

 



Recommended Articles