සෑම තත්ත්පරයක්ම තීරණාත්මක කොරියානු යාත්‍රාවේ ඛේදවාචකය


සිය ගණනක් පාසල් සිසුන් ඇතුළුව පුද්ගලයන් 475ක් සමග පසුගිය බදාදා දිනයේදී දියබත් වූ කොරියානු මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි 300කට ආසන්න පිරිසක් මේ වනවිටත් සොයාගෙන නොමැති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අයහපත් කාලගුණය මෙන්ම, දියවැල් හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා පැමිණ තිබුණද, එරට ජනාධිපතිනී පාක් ග්වෙන්-හයි මෙහෙයුම් කඩිනම් කරන ලෙස නියෝග ලබාදී තිබේ.

ගතවන සෑම තත්ත්පරයක්ම තීරණාත්මක බව පැවසූ ජනාධිපතිනිය බෝට්ටුවක නැගී යාත්‍රාව ගිලී පැවති ස්ථානයට පැමිණ සෝදිසි කණ්ඩායම් මෙන්ම, යාත්‍රාවේ සිටි මගීන්ගේ ඥාතීන්ට ධෛර්යය ලබාදුන්නාය.

බලධාරීන් පෙන්වා දෙන පරිදි 179 දෙනෙකු මෙම අනතුරින් දිවි බේරාගෙන තිබුණි. කෙසේ වෙතත් 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වන අතර, මුහුදේ පාවෙමින් සිටි තිදෙනෙකු ධීවර බෝට්ටු විසින් බේරාගෙන තිබුණු බවද වාර්තා විය.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට රුසියානුවෙක් හා චීන ජාතිකයන් දෙදෙනෙකුද අතුරුදන් වූවත් අතර වෙති.

වේගයෙන් හමන සුළං හා චණ්ඩ රළ පහර මෙන්ම දියවැල් සමග පොරබදින කිමිදුම්කරුවන් යාත්‍රාව අභ්‍යන්තරයට යෑමට උත්සාහ කළද, ඔවුන්ට එහි කාමර වෙත ඇතුළු වීමට අපහසු වී ඇති බවද පැවසෙයි. එමෙන්ම මෙහෙයුමේදී කිමිදුම්කරුවන් තිදෙනෙකු අනතුරට ලක්වී ඇති බව මුලින් කියවුණත්, බලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 



Recommended Articles