යුක්රේනය ආරක්ෂා කිරීමට පැමිණි හමුදාවන්ට ජනතාවගෙන් බාධා


රාජ්‍ය විරෝධී බෙදුම්වාදීන් විසින් අත්පත් කරගෙන ඇති ප්‍රදේශ නැවත අත්පත් කරගැනීම සඳහා යුක්රේනයේ නැගෙනහිර නගරයක් වූ ක්‍රමාටෝර්ස්ක් වෙත එරට හමුදා ඇතුළු වී තිබේ.

කෙසේ වෙතත් හමුදාව නගරය වෙත ඇතුළු වනවිට සාමාන්‍ය වැසියන් විසින් ඔවුන්ව වළක්වා ඇති බවද, දැනට පවතින තත්ත්වය අපැහැදිලි බවද විදෙස් පුවත් සේවා පවසයි.

මන්දයත්, තවත් වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙසේ මෙහෙයුමට සම්බන්ධ ඇතැම් හමුදාවන් තම හමුදා රථ අතහැර ගොස් ඇති අතර, තවත් අය තම අන්තය මාරු කර ඇති බවය.

යුක්රේනයේ නැගෙනහිර කලාපය තුළ පූර්ණ පරිමාණයේ ත්‍රස්ත විරෝධී සන්නද්ධ හමුදා මෙහෙයුමක් දියත් කරන බව යුක්රේනයේ වැඩබලන ජනාධිපතිවරයා පසුගියදා නිවේදනය කළේය. ක්‍රිමියාව රුසියාවට ඈඳා ගැනීම වැනි සිදුවීමක් යළි ඇති වීමට ඉඩ නොතබන බවත්, යුක්රේනයේ වැඩබලන ජනාධිපති ඇලෙක්සන්දර් තුර්චිනොෆ් පවසා සිටියේය.

මේ අතර ඩෝනෙට්ස්ක් නගරය රුසියානු හිතවාදී තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත්, ඔවුන් නගරාධිපතිවරයාගේ කාර්යාලය අත්පත් කරගෙන ඇති බවත් වාර්තා විය.

මේ අතර, නේටෝ සංවිධානය මෙම තත්ත්වය දෙස වැඩි සැලකිල්ලක් යොමු කරමින්, රුසියාව වෙත මෙම අතපෙවීම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කර තිබුණි.

එමෙන්ම, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග දුරකථනයෙන් කතා කරමින් මේ සම්බන්ධ සිය විරෝධය දක්වා තිබුණි. නමුත්, රුසියානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ මීට තම රජයේ සහායක් නොලැබෙන බවය.



Recommended Articles