මහා ත්‍රස්තවාදී නායකයෙකුගේ නමින් පුස්තකාලයක් නම් කෙරෙයි


පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර කාන්තාවන් සඳහා වෙන් වූ ආගමික පාසලක පුස්තකාලය හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ගේ නමින් නම් කර ඇති බව එරටින් වාර්තා වෙයි.

බීබීසීය පෙන්වා දෙන පරිදි එම පාසලේ ප්‍රකාශකයෙකු මෙම නම් කිරීම ගැන හේතු දක්වමින් පවසා ඇත්තේ, ඇමෙරිකානු විශේෂ බලකායට අයත් සීල් සෙබලුන් විසින් 2011 වසරේදී, පාකිස්තානයේ ඇබොට්ටාබාද් හිදී මරා දමන ලද බින් ලාඩන් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් දිවි පිදූ වීරයෙකු බව මෙමගින් හඟවා ඇත.

පාකිස්තානයෙන් වාර්තාවන තොරතුරුවලට අනුව, ජමියා හෆ්සා මඩ්රස්සා නමැති මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නේ නගරයේ රතු පල්ලියේ ප්‍රධාන පූජකවවරයා වන රැඩිකල් මතධාරී මවුලානා අබ්දුල් අසීස් විසිනි.

රැඩිකල් ඉස්ලාම් භක්තිකයන් සහ හමුදාව අතර 2007 වර්ෂයේදී රතු පල්ලියේදී සතියක් මුළුල්ලේ පැවති ගැටුම්වලින් 100කට අධික පිරිසක් මරා දැමුණි.

මින් කුපිත වූ පාකිස්තාන සන්නද්ධ කණ්ඩායම් ඉන් අනතුරුව ප්‍රහාර මාලාවක්ම දියත් කළහ. කෙසේ වෙතත් මෙම රතු පල්ලිය එරට සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමීන් සමග සමීප ඇසුරක් පවත්වන බවද බිබීසීය පවසයි.

ඉස්ලාමාබාද් නගරයේ හදවත බඳු ප්‍රදේශයක පිහිටි මෙම පාසලේ පුස්තකාලය සුවිශාල පුස්තකාලයක් බවත්, එහි කොටසක් තවමත් ඉදි වෙමින් පවතින බවත් කියැවෙයි.

කෙසේ වෙතත් ලොව අංක එකේ ත්‍රස්තවාදී නායකයෙකුගේ නමින් මෙම පුස්තකාලය නම් කිරීම තුළ ළමා වියේ සිටම දරුවන් ත්‍රස්තවාදයට උඩගෙඩි දීමකට හුරුකරවන බව මධ්‍යස්ථ මතධාරීහු ප්‍රකාශ කරති.

 



Recommended Articles