දිවියෙන් සමුගත් නොබෙල් සම්මානලාභී මාර්කේෂ්ට උපහාර


සිය දිවියෙන් සමුගත් ලෝක ප්‍රකට ලේඛක ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේෂ් වෙනුවෙන් ලොව පුරා උපහාරය පළ වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

‘මාර්කේෂ්’ යන ආදරණීය නමින් ලොවම හඳුනන කොලොම්බියානු ජාතික නොබෙල් සම්මානලාභියා ඊයේ (17දා) අවසන් හුස්ම හෙළන ලද්දේ මෙක්සිකෝ සිටි නගරයේ පිහිටි සිය නිවසේදීය.

මාර්කේෂ් මියයන විට 87 වැනි වියෙහි පසුවූ බව කියැවෙයි.

මාර්කේෂ් ගේ අතිශයින් ජනප්‍රිය ප්‍රබන්ධ කෘතීන් අතරින් එක් නිර්මාණයක් වන "One Hundred Years of Solitude" කෘතිය සිහිපත් කරමින් ප්‍රකාශයක් කරන කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස්, ‘මාර්කේෂ් ගේ අභාවයත් සමග සියරට වසර දහසක හුදෙකලාවකට සහ සංවේගයට පත් වූ බව’ කියා සිටියේය.

ජනාධිපති සැන්ටෝස් මාර්කේෂ් විග්‍රහ කළේ ‘සදා නොමියෙන කොලොම්බියානු පුත්‍රයා’ යනුවෙනි.

ලොව සම්භාවනීය සාහිත්‍යධරයාගේ අභාවය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කළ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් මාර්කේෂ් හඳුන්වා දෙන ලද්දේ, සිය ප්‍රියතම ලේඛකයන් කීප දෙනා අතරට එක් වෙන නිර්මාණකරුවෙකු ලෙසිනි.

එළැඹෙන සඳුදා පැවැත්වෙන අනුස්මරණීය උත්සවයකින් පසුව, දේහය මාර්කේෂ්ගේ ඥාතින් විසින් භාරගෙන පෞද්ගලික මට්ටමේ අවමඟුල් උත්සවයක් පවත්වා ආදාහන කටයුතු සිදුකෙරෙන බව එරටින් වාර්තා වෙයි.

 



Recommended Articles