දකුණු කොරියානු යාත්‍රාවේ මළ සිරුරු වේගයෙන් ගොඩට


දකුණු කොරියානු මගී යාත්‍රා අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිස මේ වනවිට 113 දක්වා ඉහළ ගොස් ඇති බව සනාථ කරගෙන ඇති අතර, එය යාත්‍රා අභ්‍යන්තරයේ සිරවූ මළ සිරුරු එකිනෙක ගොඩගනිමින් තවදුරත් වැඩි වෙමින් පවතින බවද කියැවෙයි.

අද දිනයේ පැවති යහපත් කාලගුණය හේතුවෙන් කිමිදුම්කරුවන් යාත්‍රාව අභ්‍යන්තරයේ සෝදිසි කරමින් මළ සිරුරු රැසක් ඉවතට ගැනීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් බලධාරීන් පෙන්වා දෙන පරිදි තවත් 190ක පමණ පිරිසක් තවමත් අතුරුදන් ලැයිස්තුවේ පසුවන අතර, ඔවුන්ද මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවට විශ්වාස කෙරේ.

අනතුරට පත්වන අවස්ථාවේදී ක්‍රමයෙන් ඇලවෙමින් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ එය සම්පූර්ණයෙන්ම ජලයේ සැඟව ගියත්, මේ ආකාරයෙන් මෙම යාත්‍රාව මුහුදුබත් වීමට පැහැදිලි හේතුවක් තවමත් සොයාගෙන නොමැති බව කියැවෙයි.

එමෙන්ම මෙම අනතුර සම්බන්ධයෙන් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි දෝෂදර්ශනය ලක් වන අතර, තම රාජකාරිය පැහැර හැරීම යන චෝදනා හමුවේ එහි කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට නඩු පවරා  තිබේ.

එහිදී නෞකාව ගිලෙන අවස්ථාවේදී එහි කැබින් තුළ සිටි අයට ජීවිතාරක්ෂක කබා හැඳ ඒ තුළටම වී සිටින ලෙස අවවාද කළත්, හැකි ඉක්මණින් යාත්‍රාවෙන් ඉවත් වීමට අණ නොකිරීම තුළ මෙම ඛේදවාචකය වඩාත් බරපතල තත්ත්වයක් මතු කර තිබේ.



Recommended Articles