තුර්කි ගුවන් යානා අනතුරක් නිවාස මතට වැටී 32ක් නසී


හොංකොං සිට කිර්ගිස්ථානය දක්වා පියාසර කළ තුර්කියට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයන් 32 දෙදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය ගොඩබිම සිටි අය බවද විදෙස් වාර්තා පවසයි.

කිර්ගිස්ථානයේ, බිෂ්කෙක් අගනගරයට සැතපුම් 25ක් පමණ දුරින් වූ මනාස් ගුවන් තොටුපොළ වෙත අධික මීදුම සහිත පරිසරයක බෝයිං 747 TC-MCL යානය ගොඩබෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

ගුවන් තොටුපොළට පිටතින් වූ ගම්මානයේ නිවාස 15ක් පමණ මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර, මියගිය පිරිස අතර කුඩා දරුවන්ද වන බව කියයි.

TK6491 දරණ යානය තුර්කියේ ඉස්තාම්බුල් දක්වා සිදුකරන ගම්මානය අතරතුර මේ ආකාරයෙන් මනාස් ගුවන් තොටුපොළේ නැවතුමක් සිදුකරන බව ගුවන් තොටුපොළ බලධාරීහු පවසති.

වසර 14ක් පැරණි ගුවන් යානය ගොඩබාන අවස්ථාවේදී පැවති අධික මීදුම් තත්ත්වය නිසා දර්ශනය ඇපැහැදිලි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව කියවුණත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මෙම අවස්තාවේදී එම නිවෙස්වල සිටි බොහෝ දෙනෙකු නින්දේ පසුවී ඇති බවද සඳහන් වෙයි.



Recommended Articles