චීනයේ මනුෂ්‍ය ඝාතකයන් අතර කාන්තාවනුත් ඉඳලා


දකුණුදිග චීනයේදී තියුණු පිහි සහ මන්නාවලින් ඇණ සාමාන්‍ය වැසියන් 29 දෙනෙකුට මරු කැඳවූ හා තවත් 143 දෙනෙකුට වඩා වැඩි පිරිසකට තුවාල සිදුකළ බෙදුම්වාදී සටන්කාමීන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් බව චීනයේ ජාතික රූපවාහිනිය පවසයි.

යුනාන් පළාතේ, කුන්මින්ග් දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමේදී ප්‍රහාරය එල්ල කළ හතර දෙනෙකු වෙඩි තබා මරා දැමීමට චීන පොලීසිය කටයුතු කර තිබේ.

මෙසේ මරාදැමුණු පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත ලබාදී නොතිබුණද, ජංගම දුරකථනවලින්ලබාගත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබුණි. ඒ ඡායාරූප අතර ලේ ගංඟාවන් මත වැටී සිටි මිනිසුන්ගේ දසුන් බිහිසුණු ස්වභාවයක් ගෙන තිබිණි.

මෙම ඝාතකයන් දුම්රිය ස්ථානයේ සිටි මිනිසුන්ව අහඹු ලෙස තොරා ගනිමින් මෙම පිහි ඇණුම් සිදුකර ඇති බව කියවුණු අතර, චීන බලධාරීන් පවසා සිටියේ මෙය යම් සංවිධානයක් විසින් සැලසුම් සහගතව එල්ල කළ ක්‍රෑර ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

මේ අතර, ප්‍රහාරය වෙනුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මරා දැමුණු හතර දෙනාට අමතරව එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද කියැවෙයි.

මේ තත්ත්වය තුළ පැනගිය සැකකරුවන් සොයා ප්‍රදේශය පුරා පොලිස් මෙහෙයුම් අරඹා ඇති බවද වාර්තා වෙයි.

මෙය මෑත කාලයේදී දකුණුදිග චීනයෙන් වාර්තා වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස චීන මාධ්‍ය පවසයි. 

 



Recommended Articles