චීනයේ නායයෑමෙන් අතුරුදන් පිරිස 120ක් -දැනට මරණ 15යි


නිරිතදිග චීනයේ, සීචුවාන් පළාතට බලපෑ දරුණු නායයෑමේ සිදුවීමෙන් පසුව මියගිය අයගේ සිරුරු 15ක් හමුවී ඇති අතර, තවත් 120කට අධික පිරිසක් අතුරුදන් බව විදෙස් වාර්තා පවසයි.

කඳුකර ප්‍රදේශයක් වන මෙම පළාතේ කඳු කොටසක් සම්පූර්ණයෙන්ම නායයෑම නිසා ෂින්මෝ ගම්මානයේ පමණක් නිවාස 40ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

දැඩි වර්ෂාපතනය සමග ඇති පස් හා ගල්වලට යටවූ මිනිසුන් සොයා සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම සිදුවුවත්, පවතින අයහපත් කාලගුණය හමුවේ එය දුෂ්කර කාර්යයක් බවද එම කණ්ඩායම් පවසයි.

කෙසේ වෙතත්, චීන ජනපති ෂී ජින්පින් එම සහන කණ්ඩායම්වලට නියෝග කර ඇත්තේ තත්ත්පරයකද අතපසු නොකොට සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන ලෙසයි.

එහිදී, මෙම මුදාගැනීමේ කණ්ඩායම් විශාල ගලක් ඉවත්කිරීමෙන් පසුව යුවළක් හා කුඩා දරුවෙකු බේරාගෙන ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

මීට පෙර පුද්ගලයන් 141 දෙනෙකු අතුරුදන්ව සිටින බව පැවසුණත්, මේ වනවිට එම අගය අඩුවී ඇති බව චීන මාධ්‍ය පවසයි.

නායයෑම හේතුවෙන් කිලෝ මීටර් 2ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එය අසල ඇති ගංගාව දක්වා ඇදී තිබෙන බවද පැවසෙයි.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගස්කොළන් අධිකව නොමැති වීමෙන් නායයෑම් තත්ත්වය වඩාත් බරපතල කර ඇති බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.



Recommended Articles