කොරියා යාත්‍රා අනතුර කපිතාන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලක්


අනතුරට පත් දකුණු කොරියානු යාත්‍රාවේ අවසන් සන්නිවේදනයන් ව්‍යාකූලත්වයක් ගෙන ඇති බවත්, යාත්‍රාව තුළ සිටි නැවියන් දෙගිඩියාවෙන් හා සන්ත්‍රාසයට පත්ව සිට ඇති බවත් මේ වනවිට තහවුරු වී තිබේ.

යාත්‍රාවේ අවසන් සන්නිවේදන තොරතුරුවලට අනුව එහි සිටි මගීන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන් බේරා ගැනීම සඳහා යාත්‍රාවන් පැමිණෙන්නේද යන්න නැවියන් කිහිප වරක්ම අසන අයුරු පටිගත වී තිබේ.

මේ අතර, අනතුරට පත් යාත්‍රාවේ කපිතාන්වරයා කියා සිටියේ, මගීන් ජලයේ ගසාගෙන යනු ඇතැයි යන බියෙන් ඔවුන් ඉක්මණින් ඉන් ඉවත් කිරීමට කටයුතු නොකළ බවය.

කෙසේ වෙතත් මේ වනවිට යාත්‍රාව දියබත් වී දින තුනක් ගෙවී ඇති තැන කිමිඳුම්කරුවන් යාත්‍රාවේ අභ්‍යන්තරයට ඇතුළු වෙමින් තවත් මළ සිරුරු 26ක් ඉවත් කරගෙන තිබේ. මේ අනුව, දැනට මරණ සංඛයාව 56ක් ලෙස ඉහළ ගොස් තිබේ.

නමුදු, යාත්‍රාවේ සිටි 244 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින නිසා ඔවුන්ගේ ජීවිත පිළිබඳවද බලාපොරාත්තුවක් තැබීමට නොහැකි මට්ටමක් පවතී.
පුද්ගලයන් 476 දෙනෙකු සමග ජේජු දූපත් වෙත ගමන් කරමින් තිබියදී සෙවෝල් යාත්‍රාව මුහුදුබත් වූයේ පසුගිය බදාදා දිනයේදීය. මෙහි ගමන්ගත් පිරිස අතර දකුණු කොරියාවේ උසස් පාසලක සිසු සිසුවියන් හා ගුරුභවතුන් 339 දෙනෙකු සිටියහ.

යාත්‍රාව ශීඝ්‍ර වංගුවක් ගැනීමට යාමෙන් එය ගිලී යාම ඉක්මන් වූවා යැයි යන සැකය දැන් මතුව තිබෙන අතර, එහි සිටි මගීන් ඉවත්කිරීමට පමා වීම ගැනද පරීක්ෂණ පැවැත්වෙයි.

විශේෂඥ මතයට අනුව යාත්‍රාව ශීඝ්‍ර වංගුක් ගැනීමේදී යාත්‍රාවේ රැගෙන ගිය භාණ්ඩ තොග නියමිත ගබඩා ස්ථානවලින් එහාමෙහා වීම තුළ නෞකාවේ සමතුලිතතාව බිඳී ගොස් තිබේ. මේ තත්ත්වය තුළ වේගයෙන් අනෙක් පැත්ත පෙරළුණු යාත්‍රාවෙන් පිටතට පැමිණීමට නොහැකිව එහි කොරිඩෝ අතර බොහෝ පිරිසක් හිරවී ඇති බව අවසන් වරට නෞකාවේ ඇතැම් මගීන් එවූ කෙටි පණිවුඩවලින් තහවුරු වී තිබේ.

එමෙන්ම කපිතාන්වරයා නොමැතිව පළපුරුදු නැති නැවියෙකු විසින් ඒ අවස්ථාවේදී යාත්‍රාව පදවා ඇති බවද මේ වනවිට හෙළි වී ඇති අතර, කපිතාන් ප්‍රමුඛ එම නැවියන් මේ වනවිට අත්අඩංගුවටද ගෙන ඇති බව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.

දකුණු කොරියානු ඉතිහාසයේ මහා ඛේදවාචකයක් බවට පත්වූ මේ නෞකා අනතුර එරට රජය කෙරෙහිද දැඩි අප්‍රසාදයක් පළ කරන සිදුවීමක්ද වී ඇති බව කියැවෙයි.

 



Recommended Articles