ඉරාන ජනාධිපති කාන්තාවන් වෙනුවෙන් සම අයිතිය ඉල්ලයි


ඉරාන කාන්තා දිනයේදී අදහස් දැක්වූ එරට ජනාධිපති හස්සන් රොයුහානි ඉරාන ජනාධිපතිවරයෙකු විසින් ඉතිහාසයේ සිදුකළ සුවිශේෂීම කතාවක් සිදු කරමින් ඉරාන කාන්තාවටද පුරුෂයන්ට මෙන්ම සමාන අයිතිවාසිකමක් ලබාදිය යුතු බව අවධාරණය කර තිබේ.

ස්ත්‍රී පුරුෂ වශයෙන් භේදයක් සලකමින් කාන්තාව පහත්කොට සැලකීම ඉරාන ජනාධිපතිවරයා මෙහිදී දෝෂදර්ශනයට ලක්කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

"සමාජයේ කාන්තා නියෝජනය අභියෝගයක් ලෙස සලකන පිරිමි හේතුවෙන් ස්ත්‍රී පුරුෂභාවයේ සමානාත්මතාවක් ඇති කිරීම සඳහා ඉරානයට තවත් බොහෝ දුරක් ගමන් කිරීමට සිදුව තිබෙනවා" යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

2013 වසරේදී බලයට පැමිණි රොයුහානි ආගමික පසුබිමකින් පැමිණෙන නායකයෙකු මෙන්ම, බටහිර අධ්‍යාපන ලද නායකයෙකු ලෙසද සැලකෙයි.

"කාන්තාවන්ද සම අයිතීන් භුක්ති විඳිය යුතුයි. සමාන ආරක්ෂාවක් හා සාමාජීය අයිතියක් ඔවුන්ටත් ලැබිය යුතුයි."

"ඉස්ලාමීය නීතියට අනුව ශක්තිවන්තයා පිරිමියා වන්නේ නැහැ. ඒ වගේම දුබලයා ගැහැණිය වන්නේත් නැහැ." යැයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

 



Recommended Articles