හොඳ සිනමාවක් සොයා ඉගිලෙන හීන සොයන සමනල්ලු


හෙළ සිනමා අඹර විචිත්‍රවත් කරමින් ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු සිංහල සිනමාවට එක්ව ඇත. ඔහු රොහාන් පෙරේරාය. ඔහුගේ ප්‍රථම චිත්‍රපටය 'හීන හොයන සමනල්ලු' දැන් දිවයින පුරා තිරගත වෙයි. අනාගත සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් හිමි, සිනමාව පිළිබඳ නියත හැදෑරීමක් ලද බවට නිමිති පෙන්වන සොඳුරු සිනමා බසින් තම ප්‍රකාශනය කරන රොහාන් පෙරේරාගේ 'හීන හොයන සමනල්ලු' කෘතිය සිංහල සිනමාව නරඹන ප්‍රේක්‍ෂකයා සොයන සැබෑ වෙනසක් සමග සිනමාහල් කරා සම්ප්‍රාප්ත වී තිබේ.

කාලය හා අවකාශය ඉතා සුමට ලෙස භාවිත කරමින් තම කුලුඳුල් සිනමා නිර්මාණයට අවතීර්ණ වන මේ අලුත් අධ්‍යක්ෂකවරයා (රොහාන් පෙරේරා) සිනමා මාධ්‍ය භාවිතය කවරාකාරදැයි නොදැන අතරමං වී සිටින නවීන හා ප්‍රවීණ පරපුරකට නැවුම් අරමුණු කියා දෙයි.

මෙය සැබැවින්ම ලාංකේය සුවඳ රැගත් සෞම්‍ය සිනමා නිර්මාණයකි. කොළඹ නගරයේ කොන්ක්‍රීට් වනාන්තරයක අතරමං වී සිටින නාගරික දරුවාට අප රට සිසාරා ඇති ගැමි සුන්දරත්වයේ ආස්වාදය රැගෙන එන මෙම නිර්මාණය තුළ අධ්‍යක්ෂකවරයා බටහිරෙන් ලද සෞම්‍ය වර්ණ භාවිතය පිළිබඳ පරිචයක්ද ඇතුළත් බව චිත්‍රපටයේසෑම රූපාවලියක්ම සකසා ඇති අන්දම විමර්ශනයේදී මනා ලෙස වැටහෙයි.

දරුවෙකුගේ යම් කඩාවැටීමක් හමුවේ නාගරික, ඉහළ, මධ්‍යම පාන්තික පවුල් අතර ඇති අරමුණු අත්හැර නොයන දැඩි එළඹුම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට සිතන්නට යමක් ඉතිරි කරයි.

අපේ රටට ගැළපෙන සිනමා භාෂාවක් හඳුන්වාදෙන රොහාන් පෙරේරාගේ 'හීන හොයන සමනල්ලු' කෘතිය තුළ ඉහළ ඇගයීම් ලද යුතු කිහිපදෙනෙක්ම වෙයි.

'හීන හොයන සමනල්ලු' චිත්‍රපටයේ විශිෂ්ටතම රංගන භූමිකාව මවන්නේ ප්‍රවීණ නිළි දිල්හානි අශෝකමාලායි. මෙවැනි ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවක් ඇය සතුව ඇති බව වටහාගෙන ඇගෙන් සොඳුරු සිනමා රංගන වින්‍යාසයක් මැවීමට අලුත් සිනමා අධ්‍යක්ෂකවරයා වන රොහාන් පෙරේරා සමත් වීම ක්ෂේත්‍ර‘යේ සිටිනා අවශේෂ අධ්‍යක්ෂකවරුන්ටද අලුත් අරමුණු ඇතිකරයි.

හෙළ සිනමා රංගන විජිතයේ අන්තර්ජාතික කිත් පැසසුම් ලද මහඟු මාණික්‍ය ත්‍රිත්වයක් වන මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි සහ අනෝජා වීරසිංහ සමග සමතැන් ලැබීමටද දිල්හානි අශෝකමාලා 'හීන හොයන සමනල්ලු' චරිතය තුළින් අවකාශය ලබා ගනී. රංගනය හැදෑරීමට ලොල් සියලු රංගවේදීන් දිල්හානි අශෝකමාලාගේ මෙම රංගන ලාලිත්‍ය නරඹන්නේද ඔවුන් චිත්‍රපට රංගනය පිළිබඳ අලුත්ම පාඩමක් ස්මරණය කරනු නියතය.

ඉන් අනතුරුව ඇගයුම් ලබන ප්‍රබලම පුද්ගලයා වන්නේ 'හීන හොයන සමනල්ලු' කැමරාගත කළ රුවන් කොස්තාය. ඔහුගේ මනස හැමවිටම සිනමා තිරය චමත්කාරජනක බවට පත්කරන කලාත්මක රූප රචනයක කිමිදෙමින් ඉන්නා බව මෙම චිත්‍රපටයේ කැමරාකරණය සාක්ෂි සපයයි. රුවන් කොස්තා 'හීන හොයන සමනල්ලු' මත මවන කැමරාකරණය ඔහු ලංකාවේ විශිෂ්ටතම කැමරා ශීල්පීන් අතර පෙරමුණට රැගෙන එයි.

කැමරාකරණයේ සෞම්‍ය බව දැනෙන්නේ සංස්කරණය සුමට වූ විටය. 'හීන හොයන සමනල්ලු' සංස්කරණය කළ තිස්ස සුරේන්ද්‍ර ඇගයීමක් ලද යුතු වන්නේ එහෙයිනි. මීට අමතරව නාද සංකලනය කළ ශෂික රුවන් මාරසිංහගේ දායකත්වයද ඉහළම තත්ත්වයක පවතී.

'හීන හොයන සමනල්ලු' කෘතියේ එක් තැනෙක ගමේ පාසල් දරුවන් හොර පොල් කැඩීම නිසා වන ඇබැද්දියක්ද සටහන් වෙයි. චිත්‍රපටයේගලාගෙන එන රීතියෙන් පිටපැන මෙය ගීතයක් සමග බද්ධ කිරීමට යෑමෙන් චිත්‍රපටය කෙරේ ඒකාග්‍ර වූ ප්‍රේක්ෂක දැහැන සුළු මොහොතකට බිඳී යයි.

චිත්‍රපටයේ අවශේෂ දර්ශන ගලා යන අතර සිදුවූ සිදුවීමක් ලෙස ගීතයකින් තොරව එය නිර්මාණයට දායක කරගත්තේ නම් නිර්මාණයට අලුත් ආලෝකයක් වනු ඇති බව හිතට දැනෙයි.

චිත්‍රපටයේ අවස්ථා දෙකකදී ගැමි දරුවා නගරයට පැමිණෙන සිදුවීම් දෙකම ඉතා ප්‍රවේශමෙන් තාර්කික පදනමකින් යුක්තව තරමක ගැටුම්කාරී රූප රචනකින් සිදුනොවීම බොහෝදුරට තිර රචකයාම වන අධ්‍යක්ෂක රොහාන් පෙරේරා ලංකාවෙන් බැහැරව බොහෝ කාලයක් ගතකර ඇති බව ප්‍රේක්ෂකයාට දැනුම් දෙයි. බොහෝ හින්දි වාණිජ චිත්‍රපටවලදී අවසානයේ ප්‍රේක්ෂක නෙතට කඳුළක් නිරායාසයෙන්ම රැගෙන එන අන්දම අධ්‍යක්ෂක රොහාන් පෙරේරා අලුතෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි.

ගමේ පංතියේ ගුරුවරිය (උමාලි තිලකරත්න) කිරිබත් රැගෙන විත් දෙන දර්ශනය පෙරබිමෙන් පසුබිමටත් නැවත පෙරබිමටත් නාභිගත විය යුතු අවස්ථාව 'ෆොකස් පුලර්ගේ' අමතක වීමක් නිසා නිවැරදිව නාභිගත වී නොමැති බවද පෙනෙයි. එම ගුරුවරියම ගමේ පාසලේ කුඩා දරුවෙකුද සමග නගරයට පැමිණීම අභව්‍ය සිදුවීමක් වන බවක් හැඟෙන අතර, එම සිදුවීම කතාවට හරියාකාරව බද්ධ නොවූ සේයාවක්ද දිස්වෙයි.

කෙසේ නමුදු චිත්‍රපටයකට ඇවැසි 'කාස්ටින්ග්' හෙවත් චරිතවලට සුදුසුම පුද්ගලයන් තෝරා ගැනීම අතින් අධ්‍යක්ෂකවරයා වන රොහාන් පෙරේරා දැඩි කැපවීමක් කර ඇති බව චිත්‍රපටයේසෑම දර්ශනයක්ම සාක්ෂි සපයයි.

අද අපේ සිනමාවේ බහුතරයක් අධ්‍යක්ෂකවරුන්ට නොලැබෙන නළු නිළියන් තෝරාගැනීමේ නිදහස අධ්‍යක්ෂක රොහාන් පෙරේරා රිසි සේ භුක්ති විඳ ඇති අතර, චිත්‍රපටයට තෝරාගන්නා ලද ගැමි දරුවන් සත්‍ය වශයෙන්ම ප්‍රේක්ෂකයා සැබෑ ගැමි පරිසරයකට කැඳවාගෙන යයි. ඊට අමතරව නාගරික රෝහලේ කාර්යමණ්ඩලය ලෙසද නිවැරදිම චරිත තේරීමක් කර ඇති ඔහු රෝහලේ කාර්යමණ්ඩලය ලෙස අප දකින්නේ සැබැවින්ම රෝහල් තුළ දකින සේවක පිරිසකි.

'හීන හොයන සමනල්ලු' චිත්‍රපටයේසියලු දරුවන්ගේ රංගනයන් විශිෂ්ටය. ඒ අතරේ ගුරුවරියක ලෙස රඟන ජයනි සේනානායකගේ දරුවා ඇගේ දරුවා ලෙස චිත්‍රපටයේආරම්භයේදීම ප්‍රේක්ෂයාට අවබෝධ කරදීමට සුදුසු අවස්ථාවක් නොවීම දැනෙන අඩුවකි.

ගැමි ගුරුවරියක ලෙස රඟන යොවුන් නිළි උමාලි තිලකරත්නගේ රංගනයත්, රූපයත් 'හීන හොයන සමනල්ලු' රැගෙන යන්නේ තරමක් ශෘංගාරය මුසු ලොවකටය.

'හීන හොයන සමනල්ලු' නාගරික දෙමාපියන් නැරඹිය යුතුම චිත්‍රපටයකි. තීරණාත්මක අවස්ථාවකදී, තමන්ගේ සහකරුවා කවර මානසික මට්ටමකින් පවුල් සංස්ථාව තුළ කටයුතු කරන්නේදැයි වටහා ගැනීමට දෙදෙනා අතර සංවාදයක් ගොඩනැගීමටද 'හීන හොයන සමනල්ලු' නැරඹීමෙන් ලද හැකි අලුත් අත්දැකීමකි.

විවිධ විෂයය ආස්වාදයට රිසි, හරවත් රසවින්දනයක් සහිත ප්‍රේක්ෂකයාට 'හීන හොයන සමනල්ලු' චිත්‍රපටය පත්තියම් වනු ඇත. එම හරවත් සිනමාවට දායක වූ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමද අපි අගයකොට සලකමු.

පද්මකුමා පී. මෙත්තසේන

IMG_1125 IMG_1457 IMG_1802 IMG_1838 IMG_1935 IMG_2073



Recommended Articles