ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින් දීර්ඝකාලීන පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) අතර ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ KDU උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී.යූ. ධම්මික කුමාර යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තැබූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින KDU ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික පහසුකම් පැවතියද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත් උපරිමයෙන් භාවිතයට ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ.
අනෙක් අතට, ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය ඉහළ විශේෂඥ දැනුමකින් සහ නවීන පහසුකම්වලින් සමන්විත වුවද, පවතින අධික ඉල්ලුම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දිගුකාලීන පොරොත්තු ලේඛනවල රැඳී සිටිති.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස KDU රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ පහසුකම් ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස භාවිත කිරීමට මෙම ගිවිසුම මගින් අවස්ථාව සැලසේ.
ඒ අනුව, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් පොරොත්තු ලේඛනගත රෝගීන් සඳහා KDU රෝහල් පරිශ්‍රයේදී හෘද ශල්‍යකර්ම සහ විශේෂඥ ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රාජ්‍ය අංශයේ පවතින සම්පත් ඒකාබද්ධ කරමින් ජනතාවට කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසීම අරමුණු කරගත් මෙම වැඩපිළිවෙළ, නිදහස් සෞඛ්‍ය සේවාවේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ KDU නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.


