හිටපු ලේකම්වරයෙක් හා හිටපු සහකාර සැලසුම් අධ්‍යක්ෂවරියක් රිමාන්ඩ්


රුපියල් මිලියන හැත්තෑ එකකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත්කරන ලද සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයෙකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක ලබන මස 08දා තෙක් රිමාන්ඩ්භාරයට පතකරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද (29දා) නියෝග කළේය.

මෙසේ රක්‍ෂිතභාරයට පත්කෙරුණේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර විශ්‍රාම ලබා ඇති ජාහින් මොහන්දිරම්ලාගේ දේවප්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනායි.

සබරගමු පළාතක් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් මෙම දෙදෙනා ද  සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.එකි මුදල් වංචාව සම්බන්‍ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයෙකු, ලිපිකරුවෙකු සහ තාක්‍ෂණ නිලධාරියෙක් රිමාන්ඩ්භාරයේ පසුවෙති.

මෙම සැකකරුවන් මුදල් වංචා සිද්ධියට වගකිවයුතු බවට පැමිණිල්ල ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු ප්‍රකාශ සටහන්කරගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.

මෙම මුදල් වංචාව සම්බන්‍ධ පැමිණිල්ල විභාගවන්නේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේය. මෙම මුදල් වංචාව සිදුව ඇත්තේ 2016 සහ2017 වර්ෂවලය. සබරගමු පළාත් සභා අරමුදල් මගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ව්‍යවෘති හැත්තෑ හතක් සංවර්ධනය කිරිම සඳහා දුන් මුදල් මෙලෙස වංචා කර ඇති බවට 2019 වර්ෂයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා අපරාධ විමර්ශන කාර්යාංශයේ අංශයේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකක 03 වෙත සබරගමු පළාත් සභාවේ පළාත් මාර්. ග්‍රාමිය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමනාත් මහතා විසින් කර තිබු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.

මාර්ග වල පස් කැපීම, කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, තාර යොදා සංවර්ධනය කිරිම, ග්‍රේවෙල් යොදා සංවර්ධනය කිරිම සහ ක්‍රීඩාපිටි නවීකරණය කිරීම සඳහා දුන් ව්‍යාපෘති වලින් මෙම මුදල් වංචාව සිදුව ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. එකී ව්‍යාපෘති අතරින් පහළොවක් කළ තැනක් නොදන්නා මුත් ඒ සඳහාද මුදල් ලබාගෙන ඇති බව ද අධිකරණයට දැනුම්දි තිබුණි.මෙම වංචාව සම්බන්‍ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත්කර ඇති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ තාක්‍ෂණ නිලධාරියෙකු වූ වයි.එම්.පී.බණ්ඩාර, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයෙකු වු සිංගපුලි ආරච්චිගේ චින්තක කුමාර, විෂය ලිපිකරුවෙකු වූ අමල් තුෂාර යන තිදෙනා ද මෙදින බන්‍ධනාගාරයේ සිට අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.

මෙම මූල්‍ය අපරාධය සම්බන්‍ධයෙන් විමර්ශන අවසන් නොමැති බව විමර්ශන නිලධාරින් විසින් දැනුම් දෙන ලදි. ඒ අනුව මෙදින අධිකරණයට ඉදිරිපත් කළ දෙදෙනා සමග සැකකරුවන් පස් දෙනාම මැයි 08දින දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අජිත්ලාල් ශාන්තඋදය/කසුන් දර්ශන / කොළොන්න – ජේ. නානායක්කාර



Recommended Articles