හාරකෝටියක විදෙස් මුදල් සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට


රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර ව්‍යාපාරික කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1208 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළට , කෙටි කාළසීමාවක් තුළ කීප වාරයක් ම ගොස් පැමිණීම නිසා මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන පැමිණි ගමන් බෑගය ද සමග ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු රැගෙන විත් තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ කැනේඩියානු ඩොලර් 117,000 ක් සහ යූරෝ 19,000 ක් සොයා ගැනීමට සමත් වී තිබුණි.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ විදේශ මුදල් තොගය භාර දී තිබේ.

 

                



Recommended Articles