හරිත මාවතෙන් පිටකරන්න ගිය ලක්ෂ 130ක මත්පැන් හා දුම්වැටි අල්ලයි


නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ( Green Channel ) ඔස්සේ   පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා  විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද 05/09 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් ව්‍යාපාරිකයෙකු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ - 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර තෙවැනි ව්‍යාපාරිකයා 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔවුන් 05/09 දින පස්වරු 04.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළ තුළ රැදී සිට , ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා පැමිණ තිබුණි .

එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිම කර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ඔවුන් සිය ගමන් මලු තුළ ලීටර් එකේ ලේබල් - 5 වර්ගයේ විස්කි බෝතල් 124 ක් සහ " මැන්චෙස්ටර් " වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 09 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ තුළින් ඕනෑම ගුවන් මගියෙකුට මත්පැන් ලීටර් 2.5 ක් නීත්‍යානුකූලව පිටතට රැගෙන යා හැකිය . එහෙත් මොවුන් ලීටර් 124 ක් රැගෙන යමින් තිබුණි .

මෙම විස්කි බෝතල් සහ දුම්වැටි තොගය ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනා ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



Recommended Articles