හය කෝටියක කුෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙන්නෙක් අල්ලයි


රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු 04/20 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන අතර , පිරිමි මාධ්‍යවේදීයා 22 හැවිරිදිය . අනෙක් සමාජ මාධ්‍යවේදිනිය 30 හැවිරිදිය.

ඔවුන් මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඒවා ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත් , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1183 දරන ගුවන් යානයෙන් 04/20 දින අලුයම 12.53 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ පැකැට් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401 ක් සගවා ගෙන තිබුණි.මෙම ගුවන් මගීන් දෙදෙනා 04/20 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රදවා තබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය .



Recommended Articles