හම්බන්තොට අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල


හම්බන්තොට ගබඩා හන්දිය වටරවුම් මාර්ගයේදී ඊයේ (09දා) සවස මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

යතුරුපැදියේ ගමන්ගත් තිස්සමහාරාම, එකමතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක හා ඇයගේ සොහොයුරෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී කතරගම සිට වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වූ මෝටර් රථයක ගැටී ඇත. මෝටර් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි



Recommended Articles