හන්තානේදී බස් රථ රියදුරෙකුට පහරදීමට සම්බන්ධ 4ක් අල්ලයි


මහනුවර පොලිස් වසමේ හන්තාන සඳගිරිසෑය වන්දනා කිරීම සඳහා අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලයේ පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක රියදුරුවරයාට පහරදී බස් රථයට ද අලාභානි කළ බව කියන හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවන් හතර දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් පවතිනද බව පොලිසිය කියයි.

එම සිසුන් පිරිස රැගත් බස් රථය සමඟ බස් රථ පහක් හන්තාන මාර්ගයේ ඉහළට ගමන් කරමින් තිබියදී එම මාර්ගයේ පහළට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයට එක් වූ පිරිසක් බස් රථයේ රියදුරට පහර දී බස් රථයට ද අලහ හානි සිදුකොට ඇති බව පොලිසිය කියයි.

එම සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ රියැදුරු බස් රථයෙන් බස්සවා පහරදීම සඳහා එම පිරිස උත්සාහ කොට ඇති අතර එම අවස්ථාවේදී ගුරුවරුන් සහ කුඩා ළමුන් භීතියට පත් වී කෑ මොරදෙද්දී පොලු මුගුරු රැගත් පිරිසක් ඉතාමත් අමානුෂික ලෙස හැසිරෙමින් බස් රථයේ රියදුරට පහර දී තිබෙන බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී බස් රථයේ සිටි ගුරුවර ගුරුවරියන් රියදුරට පහර නොදෙන ලෙසත් බස් රථයේ සිටින සිසු සිසුවියන් ආපසු අනුරාධපුරයට රැගෙන යාමට තිබෙන බවත් පැවසුවද ඒ කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකොට බස් රථයේ රියැදුරට පහර දී තිබේ. මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

 



Recommended Articles