මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේදී වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළඳා දැක්මේ පස් වන දිනය වූ අද 22 වනදාද මහනුවර නගරයට ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව නගරයෙන් පිට ප්‍රදේශ පවා සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබේ.
ශ්‍රී දන්ත ධාතූන් වැඳ පුදා ගැනීම සඳහා පවතින පෝලිම් තුනේ දිග අද වන විට කිලෝ මීටර් හතරද ඉක්මවා තිබෙනු දැකිය හැකි විය.
මහනුවර කටුගස්තොටමාර්ගයේ ඇති පෝලිම කටුගස්තොට නගරයද පසු කර ශ්‍රී දළඳා මාලිගාවේ සිට කිලෝ මීටර් පහකට වඩා වැඩි දුරක් විහිදී ගොස් තිබේ. මෙම පෝලිම්වල විශේෂත්වය වනුයේ පෝලිමේ දිග පමණක් නොව පළලද විශාලව පැවතීමයි. පෝලිමේ හය හත් දෙනෙකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා පෝලිම්වල පළලද වැඩි වී තිබේ. තනි පුද්ගලයෙකු ලෙස මෙම පෝලිම් ගත හොත් මෙම දුර ප්‍රමාණය හත් අට ගුණයකින් ඉහළ යාමට ඉඩ තිබේ.
මේ වන විට කටුගස්තොට නගරය පසු කර සෑදී ඇති පෝලිමේ විශාල පිරිසක් කටුගස්තොට පැරැණි පාලම මත රැඳී සිටිනු දැකිය හැකි අතර මෙම පාලම දීර්ග කාලයකින් නිසි නඩත්තුවක් නොකර ඇති පාලමක් බැවින් මෙහි ආරක්ෂක තත්වය ගැනද වග කිවයුත්තන් සැලකිලි මත් විය යුතුය.
දිවයිනේ නන් දෙස සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දින ගණනක් පෝලිම්වල රැඳි සිට දළඳා වන්දනාව සිදු කළත් ඇතැම් පිරිස් යම් යම් සබඳතා මත පිටතින් වන්දනා කර ගන්නා බවට චෝදවාවක්ද මේ වන විට මතු වෙමින් පවතී.
ශ්‍රී ලංකා පොලීසිවේ වෙබ් අඩවිය මගින් හ ඳුන්වා දී ඇති නව මෘදුකාංගයක් මගින් දැක්වෙන්නේ ඊයේ 22 වනදා පස්වරු 3.30 වන විට මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිමේ සැදැහැවතුන් 1,13,100 ක් රැඳී සිටි බවත් එය මුළු සැදැහැවතුන් ප්‍රමාණයෙන් සියයට 29 ක් බවත් සඳහන් කර තිබේ.
සංඝරාජ මාවතේ පෝලිමේ 1,37,490 ක් රැඳී සිටි බවත් එය එම වේලාවේ රැඳී සිටි මුළු සැදැහැවතුන්ගෙන් සියයට 36 ක් බවත් සදහන් වෙයි. මාලිගාව ආසන්නයේ පෝලිමේ තවත් සැදැහැවතුන් 1,37,010 ක් රැඳී සිටින බවත් එය මුළු ප්‍රමාණයෙන් සියයට 35 ක් බවත් සඳහන් කර තිබේ. ඊයේ සවස් වන විට පෝලිම්වල රැඳී සිටි මුළු ප්‍රමාණය 3,87,600 ක් වන බවත් එම වෙබ් අඩවිය ස ඳහන් කළේය.
කෙසේ නමුත් දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ඇත්තේ මෙම පිරිසෙන් සියයට 35 කට පමණක් බවත් ඉතිරි සියයට 65 හෙට දිනයට ඉතිරි වන බවත් එහි සඳහන් වී තිබිණ.( මෙම දත්ත 22 වනදා පස්වරු 3.30ට පමණ සටහන්ව තිබූ අතර එය මොහොතින් මොහොමත වෙනස් වෙයි) දළඳා වන්දනාව සඳහා පවතින පෝලිම්වලට තත්පරයෙන් තතපරය සැදැහැවතුන් විශාල වශයෙන් එකතු වෙමින් සිටිති.
මේ අතර දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ ප්‍රවේශ මාර්ග තුළ රැදී සිටින සැදැහැවතුන්ගේ පොදු පහසුකම් පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා 22 වනදා නිරික්ෂණයට ලක් කළේය.
මහනුවර කටුගස්තොට මාර්ගයේ එක් ප්‍රවේශ මාර්ගයක් ද මහනුවර වැව රවුම් මාර්ගයේ අවන්හල දෙසින් එක් මාර්ගයක් ද මහනුවර සංඝරාජ මාවතේ තවත් මාර්ගයක් ද වශයෙන් ප්‍රවේශ මාර්ග තුනක් ක්‍රියාත්මක වෙයි.
එහි රාත්‍රී ගත කරන සැදැහැවතුන් සඳහා ලබා දෙන ආහාර වෛද්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ආදිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ප්‍රවේශ මාර්ගවල රැදී සිටින සැදැහැවතුන් සඳහා ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, සිව් මහා දේවාල ඇතුළු ආයතන ගණනාවක උපකාර හිමිවන බවත් ඒ සියල්ල රජයේ නිසි අධීක්ෂණයට ලක්වන බව ද ඒ මහතා පැවසුවේය.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීම ආහාර ලබාදීම් ඇතුළු පහසුකම් රැසක් මේ වන විට සම්පාදනය කොට ඇති බවත් අවස්ථා කිහිපයකදී අධීක්ෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය අමතර පහසුකම් සැපයීම සිදු කරන බව ද දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා එම නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කීය.
ඊයේ 22 වනදා දිනය අවසන් වන විට ගෙවී ගිය දින පහ තුල ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත් සැදැහැවතුන්ගේ ප්‍රමාණය ලක්ෂ හතකට ආසන්න වනු ඇති බවත් සඳහන් වෙයි.
මොහොමඩ් ආශික්