සා.පෙළ ලියන්න සිටි කළණ ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට


නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති දියණියකගේ මළ සිරුරු ඊයේ (01දා) සොයාගත් බව පදියපැලැල්ල පොලීසිය පවසයි.

අතුරුදන්ව සිටියදී සොයාගනු ලැබුවේ, ජී.ජී. රන්බණ්ඩා (අවු. 51), කේ.ජී. බිසොමැණිකා (අවු.48),  ජී.ජී. කලන පැතුම් (අවු.15) නමැත්තන් සහ ඔවුන්ගේ ඥාති දියණියක වන 17 හැවිරිදි කේ.එම්.ජී.ජී. දිනේෂා කරුණාරත්නයි.

වලපනේ ප්‍රදේශයට පෙරේදා (30දා) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත, මලපට්ටාව ප්‍රදේශයෙන් නායයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයට පහළින් වූ නිවසක් සම්පූර්ණයෙන්ම යටවී, එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් සහ පුත්‍රයාත්, ඔවුන්ගේ ඥාති දියණියකත් අතුරුදන්ව සිටි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

අතුරුදන්ව සිටි යුවළගේ සහ ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි ඥාති දියණියගේ සිරුර අතුරුදන්වුවන් සොයා මෙහෙයුමේ නිරතව සිටින නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (01දා) උදෑසන සොයාගත් බවත්, හෙට (02දා) පැවැත්වෙන අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි සිසුවාගේ සිරුර එදින සවස සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.

නුවරඑළිය යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරින් මේජර් අසිත රණතිලක මහතාගේ මෙහෙයවිම යටතේ නුවරඑළිය තුන්වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ පනහකින් සමන්විත භට පිරිසක් මෙහෙයුමට එක්වී සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

නායයාමට ලක්වූ නිවසේ පදිංචිකරුවන්ට මිට ප්‍රථම එම නිවසින් ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ ඒකකය මගින් දැනුම් දිමක් සිදු කර ඇති බවත්, නායයාමට ලක්වූ ස්ථානයේ නිවාස කිහිපයක පදිංචි පවුල් ගණනාවක් තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින නිසා එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කළ බව රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

වලපනේ නායයාමට ලක්වූ ස්ථානයේ සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලිමට දුම්රිය රාජ්‍යය අමාත්‍යය සී.බී. රත්නායක මහතාය එම ස්ථානයට පැමිණ සිටියේය.

නායා යෑමෙන් මියගිය සිවුදෙනාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වළපනේ රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පදියපැලැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය - සම්පත් ජයලාල් / හැටන් - රංජිත් රාජපක්ෂ / හැටන් - චන්ද්‍ර සෙල්ලහේවා / ශාන් හුලංනුගේ



Recommended Articles