සයිබර් ආරක්ෂණ පනත හරහා මාධ්‍ය වාරණයක් නෑ


ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වන සයිබර් ආරක්ෂණ පනත ස්ථාපිත කිරීම හරහා කිසිඳු මාධ්‍යයක් වාරණයට ලක් නොවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පෙන්වාදෙන ඒ මහතා ඒ හරහා සයිබර් ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙන බව ද  පෙන්වා දෙයි.

එමෙන්ම  ඩිජිටල්කරණය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලින් පුරවැසියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක් එක් ආයතනවල දත්ත ආරක්ෂා කිරීම, වෙබ් අඩවි ආරක්ෂා කිරීම වැනි කාර්යයන්  සයිබර් ආරක්ෂණ පනත හරහා  අපේක්ෂා කරනව බවද  කනක හේරත් මහතා  කියා සිටියි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය හෙවත් SRILANKA SERT  මඟින් සංවිධානය කළ 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි  වෙමින්   තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව  පැවැසීය.

බත්තරමුල්ලේ පිහිටි වෝටර්ස්එජ් හෝටලයේ දී  අද (23) පෙරවරුවේ මෙම  සමුළුව පැවැත්විණි.

 



Recommended Articles