සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හදුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.
මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව එ් සදහා වගකීම පැවරෙන්නේ සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිවිය. ඒ අනුව එම දත්ත රැස් කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සදහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකොට තිබිණි.
රජයේ සුබ සාධක ලැබීම් සදහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් / පවුල් හඳුනා ගැනීම සදහා මූලික අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් වී තිබිණි. එසේම සුබසාධක ප්‍රතිලාභ ඉල්ලුම් කර ඇති අයදුම් කරුවන්ගේ නිවෙස් වෙත ගොස් ද්වීතීයික තොරතුරු එක්රැස් කිරීම සදහා ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හදුන්වා දුන් බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
මෙහිදී කමිටුවේදී සාකච්ඡාවූයේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී ද හෙළිවී ඇති බවයි. ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබා දී ඉන් යම් ප්‍රතිශතයක් ලබා ගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව මෙහිදී සාකච්ඡා විය. මනා විනිවිදබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදු කිරීම සදහා මෙම නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
එසේම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්ය කළයුතු බවටද කාරක සභාව විසින් නිර්දේශයක්ද ලබා දෙන ලදී. තාක්ෂණය මෙතරම් දියුණු මට්ටමක ඇති පසුබිමක ජාතික හැදුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමට හැකියාවක් නොමැති බව පිළිගත හැකි කරුණක් නොවන බව ද වංචනික ක්‍රියාවන් නැවැතීමට එය වැදගත් තීරණයක් වනු ඇති බවද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
එසේම එම ප්‍රගතිය සති දෙකක් තුළ කාරක සභාවට වාර්තා කරන ලෙස ද රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නේය.