පාසල් දැරියන් සහ කාන්තාවන් මුහුණ දෙන සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් වන ගැටලුවට මෙම සතියේ විසඳුම් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඊයේ(20දා) පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී කාණ්ඩයෙන් ඉවත් කර ඒ සඳහා පනවන බදු ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය එහිදී ඉල්ලීමක්ද කළාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත - මේ දින වල පාසල් වල වැඩිහිටි දැරියන් පැමිණීම අඩුවෙලා තිබෙනවා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් විශාල මුදලක් වැය වීම යන කාරණය නිසා. මේ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය නිලධාරීන් හරහා හෝ යම් සහනදායී ක්‍රියාවලියක් අපේ ලංකාවේ නිෂ්පාදකයන්ගෙන් හෝ විදේශ වලින් ගෙන්වීමේදී හෝ මිල සම්බන්ධයෙන් යම් සහනාධාරයක් ලබා දීලා කටයුතු කරන්න පුලුවන්ද?
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල - මේ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් කිරීමට වෙළඳ අමාත්‍යවරයා සමග යම් එකඟතාවයකට පැමිණ තිබෙනවා. අපේ විපක්ෂනායකතුමා මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජාතික ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කළා. මම එකඟයි සම්පූර්ණයෙන්ම. ඒ දිශානතියට යා යුතුයි. මේ සම්බන්ධයෙන් සුවිශේෂී වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න - එතනදී සිදු වෙලා තිබෙන්නේ නැප්කින් වලට 42ක් පසුගිය කාලයේ ටැක්ස් එකක් වැදුනා. මේ සැරේ වැට් එක වැඩි කළාම ටැක්ස් එක 45ක් විතර වෙනවා. කිව්වා වගේ පාසල් වල ළමුන්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ලොකු අනතුරක් ඒක ඇතුලේ තිබෙනවා. මේක සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. නමත් වැටිලා තියෙන්නේ ඒ කාණ්ඩයට. මම කියන්නේ සුඛෝපභෝගී කාණ්ඩයෙන් ඉවත් කරලා, මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු - මම අද හවස දේශීය නිෂ්පාදන සමාගමුත්, ආනයනය කරන සියලු දෙනාවත් හමුවෙලා සාකච්ඡා කරනවා. එතනදී තියෙන ගැටලු විසඳන්න කටයුතු කරනවා. මෙම ගැටලුවට මේ සතියේදී විසඳුමක් ලබා දෙන්න පුලුවන්.