සතොස කළ අක්‍රමිකතාවක් හෙළිවෙයි


ලංකා සතොස  ලිමිටඩ්  සමාගම විසින්  කළමනාකරණ සේවා  දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය  මත පමණක් එම සමාගමේ ඉහළ නිලධාරීන්ට විවිධ වූ දිමනා වර්ග ගෙවීම සඳහා රුපියල් එක්කෝටි තිස්ලක්ෂ, හතළිස්හත්දහස්, තුන්සිය පනහක (13,047,350) මුදලක් 2024 වර්ෂයේ දී වැයකොට ඇති බව ජාතික විගණන  කාර්යාලය මගින් මැයි මස 22 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

අන්තර්දීමනා, කාර්යසාධන දීමනා, වෘත්තීය දීමනා, මාසික දීමනා, ප්‍රවාහන දීමනාව ලබාගැනීමට හිමිකමක් නොමැති නිලධාරීන් සඳහා ප්‍රවාහන දීමනා ගෙවීම සඳහා මෙකී මුදල් වැයකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව මෙකී සමාගමේ නිලධාරීන් 10 දෙනෙකට රුපියල් විසිපන්ලක්ෂයක (2,500,000)  අන්තර්දීමනා, ප්‍රධාන විධායක නිලධාරීන්ට සහ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරුන් 05 දෙනෙකු සඳහා  මසකට රුපියල් 75000 බැගින්  රුපියල් තිස්දෙලක්ෂ,අනූදෙදහස් පන්සියයක (32,92500) මුදලක්   කාර්යසාධන දීමනා ලෙස ගෙවා ඇත.

 එමෙන්ම ප්‍රධාන විධායක නිලධාරි සහ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් සඳහා  අනුමත මාසික දීමනාව  පිළිවෙළින් රුපියල් 95000ක් සහ  90,000 කි. අධ්‍යක්ෂ  මණ්ඩල අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරිවරයාට රුපියල් 250,000ක් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට   රුපියල් 150,000ක මාසික  දීමනාවක් ගෙවා තිබුණි. ඒ අනුව 2023 වර්ෂයේ දී  ප්‍රධාන විධායක නිලධාරිවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්ට   වැඩිපුර ගෙවා ඇති මුදල පිළිවෙළින් රුපියල් දහඅටලක්ෂ හැටදහසක්  (1,860,000)  සහ  රුපියල් විසිලක්ෂ,අනූහතරදහස් හාරසියයක් (2,094,400) බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රවාහන දීමනාව ලබා ගැනීමට  හිමිකමක් නොමැති නිලධාරීන් 19 දෙනෙකුට රුපියල් විසිඅටලක්ෂ,හත්දහස් අසූතුනක මුදලක් (2,807,083)  ද ගෙවා තිබුණි. වෘත්තීය දිමනාව  සේවා කාලය මත පදනම්ව ගෙවිය යුතු වුවත්  එම සීමාවන්ට පටහැණිව  රුපියල් 10000 මාසික දීමනාවක් ගෙවීම නිසා  නිලධාරීන් 06 දෙනෙකුට රුපියල් හාරලක්ෂ, අනූතුන්දහස්,තුන්සිය හැටහතක මුදලක් ( 493,367 ) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත  දීමනා පමණක් ගෙවිය යුතු  අතර  වැඩිපුර ගෙවනු ලැබූ  මුදල් අයකරගත යුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට ඇත.

චන්දන සමරවික්‍රම

 

 

 

 



Recommended Articles