සජබෙ ඉදන් ආණ්ඩුවට සහාය දෙන ඩයනාට සභාපති ධුරයක්


ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (29) තේරි පත්විය.  

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජාන් ෆලීල් යන මහත්වරුද තේරි පත්විය.

මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද  උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතාද තේරි පත්විය.

 

 



Recommended Articles