සජබ ඉල්ලා අස්වීමේ පෝලිමට නුවරඑළිය සම සංවිධායකත් එක්වෙයි


සමගි ජනබලවේගෙයේ සහයෝගයට එක් වූ සුළු පක්ෂ කර උඩ තියාගෙන මව් පක්ෂය වෙනුවෙන් කැපවුණු අයට නොසැලකීම හේතුවෙන්  හා මව් පක්ෂයේ අයට නොසලකන නායකත්වයක් යටතේ වැඩ කළ නොහැකි බැවින් ස.ජ.බ නුවරඑළිය සම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වීම පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහ ලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දූව බව නුවරඑළිය ස.ජ.බ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා පවසයි .

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය සම සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන හේතුව පැහැදිලි කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් (25) උදෑසන සිය තලවාකැලේ පිහිටි කාර්‍යාලයේ පවත්වමිනි ,

වැඩිපුර අදහස් දැක්වූ සමගි ජන බලවේගය නුවරඑළිය සම ආසන සංවිධායක සහ තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා මෙසේද පැවසීය ,

“ආසන සංවිධායකවරයා වශයෙන් මාව විශ්වාස කරලා ඡන්දය ඉල්ලපු පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකරන්න නායකත්වයෙන් අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලැබෙන්නේ නැත්නම් සහ නායකත්වය සෑම විටම උත්සාහ දරන්නේ මව් පක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්න සුලු පක්ෂවල අරමුණු ඉටු කරන්න විතරයි නම් අපි මේ තනතුරුවල ඉදල වැඩක් නැහැ.

මම ඊයේ දින දක්වා සමගි ජන බලවේගයේ නුවරඑළිය සම ආසන සංවිධායක වශයෙන් කටයුතු කලා ඊයේ දිනයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ මහලේකම් රංජිත් මත්තුම් බණ්ඩාර මහතාට මාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ලිඛිතව භාර දුන්නා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මට භාරදීලාා තිබුණේ තලවකැලේ ලිදුල නගර කොටගල සහ ආගරපතන පරාදේශීය සභාවේ වගකීම පවරලා එහි බලයලත් නිලධාරි හැටියට පත් කරලා තිබුණා.

එවිට නාමයෝජනා පත්‍ර සකස් කරන විට අපි හා ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය නායකයන් සමග එකඟතාවයකට ඇවිල්ලා නාමයෝජනා හැදුවේ ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ ඉල්ලීම පරිදි එම පක්ෂයේ නියෝජිතයින් අපේක්ෂකයන් හැටියට නම් කර අප මව් පක්ෂයේ නියෝජිතයන්ට ප්‍රසාද මන්ත්‍රී ධූර ලැයිස්තුව සඳහා තැන ලබා දෙන බවත් අපට ලැබෙන ප්‍රසාද ආසන සඳහා එම අය නම් කරන බවත් එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා.

පක්ෂ නායකත්වයට ගරු කරලා අපි මේ යෝජනාවට  ඒකමතිකව කැමැත්ත දුන්නා නමුත් ඒ අයගේ අපේක්ෂකයන් කොට්ඨාස මට්ටමෙන් පරාජය වූවාට පස්සේ අපට ලැබුණු බෝනස් ආසන ඒ පරාජය වෙච්ච අයට බෙදන්න දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ ඉල්ලීමට නායකත්වයත් කැමැත්ත දීලා තියෙනවා.

මේ කාරණාව එක්ක බලද්දි පක්ෂය වෙනුවෙන් කැප වෙච්ච අපේ සමගි ජන බලවේග පක්ෂයේ පාක්ෂිකයන්ට හා අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් සිදුවෙලා තියෙනවා.

පක්ෂයක් හැටියට අප තරග කරපු පළවෙනි පාළාත් පාලන මැතිවරණය මේක වෙලත් අපේ ප්‍රාදේශීය නායකයන්ට හරි තැනක් දෙන්න අපිට බැරි වෙලා තියෙනවා පක්ෂි නායකත්වය ගන්න වැරිදි තීන්දු තීරණ නිසා.

දමිල ප්‍රගතිශීලී සන්ධානය හා සමගි ජන බලවේගය පක්ෂත් එක්ක එකතු වුණු සුළුු පක්ෂ කියන කියන විදිහට නායකත්වයේ වැඩ කරාට පොරොන්දු වෙච්ච විදිහට වැඩේ කරන්න බල කරන්න අපේ නායකයන් කටයුතු කළේ නෑ.

ප්‍රශ්නයට හේතු වෙලා තියෙන සභාවල පළනි දිගම්බරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා රාධාක්‍රිෂ්ණන්  මන්ත්‍රීවරයාගේ කණ්ඩායම් නියෝජනය කරපු දෙන්නෙක් දිනලා එයාලට මන්ත්‍රිකම් ලැබිලා තියෙනවා.

සමගි ජන බලවේගයේ මව් පක්ෂයේ නියෝජනය කරන්න තමයි කවුරුත් නැත්තේ එහෙම එකේ බෝනස් එකත් එයාලට දෙන එක සම්පූර්ණ වැරදියි.

එහෙම පසුබිමක සංවිධායකවරයා වශයෙන් ප්‍රාදේශීය නායකයන් හා ජනතාවත් එක්ක වැඩ කරන්නට සංවිධාන කටයුතු කරන්න බැරිවෙනවා.

ප්‍රාදේශීය නායකයන්ට අවස්ථාව නොදුන්නොත් සාකා සමිති මට්ටමෙන්ම අපට විරෝධතාවයක් පැන නැගෙනවා.

අපි පක්ෂයෙන් අහන්නේ ඇයි තාමත් අපි වෙනත් පක්ෂ විශ්වාස කරගෙන දේශපාලනය කරන්නේ ?

පහුගිය මහ මැතිවරණයේදී නුවරඑළියෙ  ජනතාව පෙන්නුම් කරලා තියෙනවා මොන විදිහටද ජනතාව ක්‍රියාත්මක වෙන්නේදද කියලා.

සජිත් ප්‍රේමදාස මහතාට කැමති නිසා තමයි ලක්ෂක පමණ පරතරයකින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඡන්ද ප්‍රමාණයක් නුවරඑළියෙන් ලබා දුන්නේ.

ඒත් මහ මැතිවරණයේදී ඡන්ද අඩු වෙලා මේ නුවරඑළියේ නායකයන්ගේ ප්‍රතිශතය මොකක්ද කියලා අපිට දැනගන්නට පුළුවන් වුණා.

ඒකෙන්ම අපට තේරෙනවා පක්සෙට හා සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලුම තිබුනට නුවරඑළියේ ඉන්න ඔය කියන නායකයන්ට කිසිදු ඉල්ලුමක් නැහැ කියලා.

පක්ෂය එක්ක දිගටම රැඳිලා ඉන්නවා.අපි නායකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වෙනත් පක්ෂ ආරක්ෂා කරන්න කලින් අපිත් එක්ක සන්ධානගත වෙච්ච පක්ෂ ආරක්ෂා කරන්න කලින් සමගි ජන බලවේගය අපේ  පක්ෂයේ ඉන්න පක්ෂය වෙනුවෙන් කැප වෙච්ච නායකයන් හා පාක්ෂිකයන් ආරක්ෂා කර කරගන්න කියලා.”

නුවරඑළිය සුහේල්

 



Recommended Articles