ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මේ වන විට ඩොලර් 13000ක් බවට පරිවර්තනය වී ඇති බව එය කලාපයේ ඉහළම අගය බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීරණයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
“සමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.
මේ රටේ අද ඒකපුද්ගල ආදායම පිළිබඳව තිබෙන වැදගත්ම නව මිනුම් දණ්ඩ අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,000 ක් වෙනවා. මෙය විශාල අගයක්. එය මේ කලාපයේ විශාලම අගය වනවා වගේම,එය මිලදී ගැනීමේ හැකියාව පැත්තෙන් ලෝකයේ දියුණු රටක් යැයි හිතෙන තරම් විශාල අගයක් වනවා.
ඒ නිසා මේ රට පැරණි දුප්පත් රට නෙමෙයි. මේ රටේ දුප්පත් යැයි කියන්න පුළුවන් අන්ත දුප්පත් පිරිස 6% කටත් වඩා අඩුයි. ඒ නිසා මේ රටේ විරැකියාව අද අනෙක් පැත්ත වන උගතුන් අතර පමණයි විරැකියාව තිබෙන්නේ. අද විරැකියාව 4% දක්වා අඩුවෙලා තිබෙනවා. අපේ ආර්ථික දිශානතිය දෙස බලන විට එය විශාල ජයග‍්‍රහණයක්.”