ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස හෙට විවෘතවෙයි


මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) හෙට (15දා)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ දුර කි.මී. 40.91කි. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මඟ හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදි කර ඇත.

මංතීරු 04ක් යටතේ ඉදි කළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන්  මගින් මෙම මාර්ග කොටස ඉදි කර තිබේ. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් මෙහි ඉදි කර ඇත. මේ සඳහා රුපියල් බිලියන 149ක් වැය වී තිබේ.

සාකල්යා සඳමාලි



Recommended Articles