ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් සේවා යළි ඇරඹෙයි


වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් , ගුවන් මගීන් 200 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද  දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

1980 වසරේ ආරම්භ වූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාව 2015 වසරේ දී ඇනහිට තිබුණි .

මෙම දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවාව යළිත් ආරම්භ කරමින් , අද  දින අලුයම 04.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ සිට  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු වූ මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි ඩිල්ශාන් සමන්ත මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය .

මම ප්‍රංශයේ පැරිස් නුවර වසර 08 ක කාළයක් ජීවත් වෙනවා . එහි සෞඛ්‍ය , අධ්‍යාපනය වැනි දේවල් ඉතා උසස් අන්දමින් පවත්වා ගෙන යනවා . ප්‍රංශය ඉතාම අනර්ඝ රටක් .

පැරිස් නුවර සිංහල ජාතිකයන් 10,000 ක් පමණ ජීවත් වෙනවා . එහි ද්‍රවිඩ ජාතිකයන් ලක්ෂ 10 ක් පමණ ජීවත් වෙනවා . ප්‍රංශ රජය මෙම ශ්‍රී ලාංකිකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ගොඩක් දේවල් සිදු කරනවා .

මෙසේ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර යළිත් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම ඉතාම හොද වැඩක් . හොද ව්‍යාපෘතියක් .

මෙම ගුවන් යානය තුළ වැඩිපුර ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණියා . මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි පැමිණි ගුවන් මගීන්ට ඉතා හොදින් සංග්‍රහ සත්කාර කළා , යැයි ද පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මින්පසුව සතියකට දින 03 ක් බදාදා , සිකුරාදා සහ ඉරිදා දින වල  ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබයි .

 



Recommended Articles