ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරයි


පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය 12/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

මේ සදහා පෝලන්ත ගුවන් සේවය විසින් බෝයිං - 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

12/08 දින අලුයම 05.35 ට එල්.ඕ.- 067 දරන ගුවන් යානය පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , ජල ආචාර පවත්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි .

එළඹෙන 2022 වසරේ මාර්තු මස 31 දින දක්වා ශීත ඍතු කාළසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙම ගුවන් සේවය   බටහිර යුරෝපය , ස්කැන්ඩිනේවියානු රටවල් , බෝල්ටික් රටවල් සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ ගුවන් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

මෙම ගුවන් යානයෙන් 12/08 දින ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර , මින්පසුව සතියකට දින 03 ක් , එනම් අගහරුවාදා , සිකුරාදා සහ ඉරිදා දින වල මෙම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ .

මෙම ගුවන් ගමන සදහා කිලෝ මීටර් 7,293 දුරක් , පැය 09 ක කාළයක් ගත වේ .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකොව්ස්කි (Adam Burakowski ) සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .



Recommended Articles