ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන අලුත් විස


ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ, ජා - ඇළ  විශේෂ සුරාබදු  වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව, අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා  විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදීය .

මේ වනවිට කොළඹ, ගම්පහ, පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .

එහෙත් මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසැලට , පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර තිබේ .‍ෙ

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට ( Online ) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු , පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා ( Power Bank ) , සුවද විළවුන් බෝතල් යන ආකාර වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී ඇති අතර , මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ , සුවද විළවුන් බෝතල් අසළ තැබීමට වග බලා ගෙන තිබේ.

        මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන , උග්‍ර පිළිකා කාරක බව නිසාම  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ  ඇමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක් කර තිබේ .

 දැනට මෙම විද්‍යුත් දුම්වැටි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , කොළඹ වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව තුළට පැමිණෙන බව ද සොයා ගෙන තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බව ද , සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය .

ටී.කේ.ජී.කපිල



Recommended Articles