වෛද්‍ය ෂාෆි 25 දා තෙක් රිමාන්ඩ්


කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතා  ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (11දා) නියෝග කළේය.
 
වෛද්‍යවරයා  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා  රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම වෛද්‍යවරයාගේ  සිසේරියන් සැත්කම්වලට භාජනය වීමෙන් අනතුරුව තවමත් දරුවෙකු පිළිසිඳ නොගත් බවට පැමිණිලි කළ මව්වරුන්  143 දෙනකු  එස්එච්ජී පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන ලෙස  රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
වෛද්‍යවරයාට ඇප දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව පස්වරු 5.30ට ලබා දෙන බව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළ අතර ඒ අනුව  පස්වරු 5.30ට පැමිණිල්ල කැඳවූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනාවල බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු  25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව ප්‍රකාශ කළේය.

 



Recommended Articles