වේයන්ගොඩ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථානය ඇමති බිමල්ගේ නිරීක්ෂණයට


වේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ  නිරීක්ෂණ චාරිකාවක් ඊයේ 28   ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතියක් අනුව ය.

මෙම ව්‍යාපෘතිය මගින් දැනට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සිදුවන නාස්තිය අවම කරගැනීමට හැකි වන බවද  භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ගබඩා කරන ස්ථාන පිළිබඳව  පවතින ගැටලු සදහා විසදුම් ලබාදීමටද මෙයින් අදහස් කෙරේ.

මෙම ව්‍යාපෘතිය තුළින් උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර ආදී ප්‍රදේශවල ඇති භාණ්ඩ, යෝජිත බහු ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත දුම්රියෙන් රැගෙන ඒමට කටයුතු කෙරෙන බවද මෙහිදි අදහස් දැක්වූ  ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කලේය.

කොළඹට ආසන්නව වේයන්ගොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇති නිසා මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව ඇත්තේ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා සංකීර්ණය මේ සදහා භාවිත කිරීමට හැකි බැවින් වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ රැගෙන එන භාණ්ඩ අපනයනය කිරීමටත්. දේශීය වශයෙන් බෙදා හැරීමටත්,  නිදහස් වෙළඳ කලාප සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීමටත් හැකියාව පවතින බවද මෙහිදි හෙලිවිය. මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා සුදුසුකම් ඇති ආයතනයකට පැවරීමට නියමිත බවද මෙහීදි අනාවරණය විය.

1990 දශකයේදී පවා ආහාර ගබඩා පිහිටි බිමට දුම්රිය  ගමන් කර ඇති නමුත් පසු කාලීනව  දුම්රිය ධාවනය අතහැර දමා පවතින බවද හෙලිවිය.

මේ අවස්ථාවට සහභාගී එක්වූ දුම්රිය සාමාන්‍යධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය , ආහාර කොමසාරිස් ලාල් හේවා පතිරණ යන  මහත්වරු සහ ආගමික හා සංස්කෘති කටයුතු නියෝජ්‍ය අමාත්‍යය මුනිර්  මුලෆ්ර යන මහත්වරු ද අදහස් දැක්වූ අතර

 වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමදාස දිසානායක මහතා   ආහාර දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද  එක්ව සිටියහ.

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි



Recommended Articles