විලාසිතා නිර්මාණ වේදිනියකවිමට සිහින දකින කළා අංශයේ ප්‍රථමයා


උසස් පෙළ දිවයිනෙන් ප්‍රථමයෙකු වීමට ලැබීම පිළිබඳව විශාල සතුටක් ඇති බවත් තම අනාගත බලාපොරොත්තුව විලාසිතා නිර්මාණ වේදිනියක වීම බවත් මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන්  දිවයිනෙන් පළමු ස්ථානයට පත් ගම්පහ , රත්නාවලී බාලිකාවේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය සදහන් කළාය. 

බටුවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති සෙනලි චමත්කා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 164 ක් ලබා ගනිමින් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුලත්ව ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළ හැදෑරීම පිනිස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුලත් ඇත.

රාගම , බටුවත්ත ප්‍රදේශයේ පදිංචි දරු පවුලක වැඩි මහල් දරුවා වන සෙනලි සිය ජයග්‍රහණය පිළිබඳව අප පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ , තමන් උසස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටි නමුත් ලංකාවෙන්ම කලා අංශයෙන් ප්‍රථමයා ලෙස මෙවන් සාමාර්ථයක් හිමිකර ගැනීමට හැකිවන බවට බලාපොරොත්තුවක් නොතිබූ බවය.

තවදුරටත් අදහස් දක්වමින් සෙනලි චමත්කා දියණිය මෙසේද ප්‍රකාශ කළාය. " මම නිතරම වැඩ කළේ අරමුණක් ඇතිව. අපිට පාසල් අධ්‍යාපනය ලබන්න තියෙන කෙටි කාලයෙන් හරියාකාරව ප්‍රයෝජනය ගත යුතුයි. පාසලේදී එදිනෙදා ලැබෙන දැනුම හොදින් ධාරණය කර ගනිමින් හොඳින් කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීම හැකිබව මගේ විශ්වාසය. මාව හදා වඩා මට හොද අධ්‍යාපනයක් ලබා දීම සිදු කරන අම්මා සහ තාත්තාත් මේ මොහොතේ සිහිපත් කරනව. 

මට මෙවන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීම හැකි වීම පිළිබඳව රත්නාවලී විදුහල්පතිතුමිය වසන්තා කුමාරි ගුරු මෑණියන්ට , පන්ති බාර සහ අංශ බාර ගුරු මෑණිවරුන්ට , ගුරු පියවරුන්ට මේ  මොහොතේ ගෞරවය පුද කරනව. ඒවගේම මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ බටුවත්ත කනිටු විදුහල වගේම ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සිහිපත් කරමින් එහිදී අධ්‍යාපනය ලබා දීම සිදු කළ සියලුම ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ද සිහිපත් කරනව. 

මීළඟට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව විලාසිතා නිර්මාණ වේදිනියක වීම මගේ අනාගත බලාපොරොත්තුවවී තිබෙනව."

මැයගේ නැගණිය බටුවත්ත මහ විදුහලෙහි 10 වන ශ්‍රේණියෙහි අධ්‍යාපන ලබන අතර සොයුරා බටුවත්ත ප්‍රාථමික විද්‍යායේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.  

සෙනලි සිසුවියගේ පියා වන චමින්ද සම්පත් රණසිංහ මහතා පොලිස් නිලධාරියෙකු වන අතර මව ගෘහණියකි. 

මෙම සිසුවියන්ගේ ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් රත්නාවලී බාලිකාවේ විදුහල්පතිනී වසන්තා කුමාරි මහත්මිය මෙලෙසින් අදහස් දැක්වූවාය.  " මේ දියණිය මෙවන් සාමාර්ථයක් ලබා ගනිමින් විද්‍යාලයට ගෞරවයක් අත්කරදී තිබෙනව.හරිම සතුටුයි. මේ දරුව හරිම දක්ෂයි. විදුහලේ සෑම කටයුත්තකදීම දායකත්වයක් ලබා දුන්න. මැයගෙ අනාගත අධ්‍යාපන කටයුතු ඇතුලු සියලුම අපේක්ෂාවන් සාර්ථකවේවා යි ප්‍රාර්ථනය කරනව."

තම දියණියගේ ඉහළ සාමාර්ථය ගැන අදහස් දක්වමින් මව වන වත්සලා සඳමාලි මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.  " දුවගෙන මේ සාමාර්ථය ගැන විශාල සතුටක් තිබෙන බව තමයි කියන්නෙ. මෙයා කුඩා කාලයේ ඉදන්ම කැපවීමෙන් පාඩම් කටයුතු කළා.  ඒ වගේම තමයි දුව ගෙදර ඉවුම් පිහුම් කටයුතු වලටත් උදව් කරනව. ගුණ යහපත් දක්ෂ දරුවෙක්. "ට

පියා චමින්ද සම්පත් රණසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ , දියණිය ගැන විශාල බලාපොරොත්තුවක් තිබූ බවත් හොද ප්‍රතිඵලයක් ලබාගන්නා බවට විශ්වාසයක් තිබූ බවත්ය. දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දී හොඳ තැනකට ගෙන ඒම සෑම මවකගේම , පියෙකුගේම අපේක්ෂාව බවත් තම දියණිය මෙවන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම පිළිබඳව විශාල සතුටක් ඇති බවත්ය.

තිලකරත්න දිසානායක


  



Recommended Articles