වර්තමාන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වී සහ බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට සිදුවී ඇති හානි වෙනුවෙන් ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ගෙවීමට කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
ඒ අනුව, හානියට පත් වී සහ බඩ ඉරිඟු ඇතුළු බෝග 06ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක මුදලක් උපරිම වශයෙන් අක්කර 05ක් දක්වා ගෙවීමට නියමිතය. මේ වන විට වාර්තා වී ඇති කුඹුරු අක්කර 6,073ක ප්‍රමාණයකට අයත් ගොවීන් 4,707කට ආසන්න පිරිසකට මෙම වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට නියමිතව ඇත.
තම වගාවන්ට නියං තත්ත්වය හේතුවෙන් හානි සිදුවී ඇත්නම්, හැකි ඉක්මනින් අදාළ ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමට හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි එය සටහන් කිරීමට කටයුතු කරන ලෙස ගොවි මහත්වරුන්ගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ විස්තර ලබා ගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 වෙත ඇමතුමක් ලබා දීමේ පහසුකම සලසා දී ඇත

