පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන කලාපයක පිහිටි යාල උද්‍යානයේ I සහ II කලාප, අතීතයේ සිටම වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හා අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය අවම කිරීම සඳහා සම්ප්‍රදායිකව වසා තැබීම සිදුවිය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී දුන් උපදෙස් මත සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) හා සංචාරකයන් ගෙන්වන ආයතනවල සංමය (SLAITO) ඇතුළු ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ පසුගිය 24දා පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇත.
නියඟයෙන් පීඩාවට පත් සතුන් උදෙසා අඛණ්ඩව ජලය සැපයීම සහ උද්‍යානය තුළ පිහිටි ස්වාභාවික වැව්, පොකුණු හා දියවළවල් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් කරන අතර කලාප I සහ II තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩනැඟිලි, සංචාරක නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම්වල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු කිරීමටද නියමිතය.
මෙම කාලසීමාව තුළ I සහ II කලාප තුළට ඇතුළුවීමට අවසර හිමිවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අදාළ කාර්ය මණ්ඩලයට පමණි.එම කලාපවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය විවෘතව පවතින සෙසු කලාපවල සේවාවන් සඳහා යොදවනු ඇත.
සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරමින්, නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති යාල ජාතික උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයන් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතී.
එමෙන්ම මෙම කාලසීමාව තුළ දිවයිනේ පිහිටි අනෙකුත් වනෝද්‍යාන වන උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, විල්පත්තුව ඇතුළු ස්වාභාවික පරිසර සංචාරක ගමනාන්ත වෙත යොමුවන ලෙස සංචාරකයන්ගෙන් හා සංචාරක නියෝජිතයන්ගෙන් පරිසර අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

