ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් එරට ජාතික ගුවන් සේවය වන " වියට්නාම් එයාර් ලයින්ස් " විසින් මංගල ගුවන් යානය 08/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය .
වියට්නාමයේ හෝ චි මින් නුවර සිට වී.එන්.- 671 දරන මෙම ගුවන් යානය 08/16 දින රාත්‍රී 11.02 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එම ගුවන් යානය තුළ ගුවන් මගීන් 164 දෙනෙකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 172 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමය බලා පිටත්ව ගියහ .
ඒ අනුව මෙම ගුවන් යානා සෑම සතියකම දින 03 ක් , එනම් ඉරිදා , බදාදා සහ සිකුරාදා යන දින වල වියට්නාමය සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ධාවනය වීමට නියමිත අතර එක් ගුවන් ගමන් වාරයක් සදහා පැය 04 විනාඩි 30 ක කාළයක් ගතවේ .
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රින් ති ටාම් මහත්මිය සහභාගී විය.





