විදේශගත ලාංකිකයින් ගෙන්විමේ දෙවැනි අදියරේ 222 දෙනෙකු දිවයිනට


විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද (11) දින දහවල් 12.15 වනවිට   ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද දින අලුයම 1.23 ට කටාර්හි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-668 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 42 ක් ද , එරට එම ගුවන් තොටුපළේ සිට අද දින අලුයම 5.22 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් 01 ශ්‍රී ලාංකිකයෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මීට අමතරව අද දින දහවල් 11.45 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1506 දරන ගුවන් යානයෙන් ද තවත් එක් ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම අද දින දහවල් 12.15 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1102 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙසේ පැමිණි සියලු ගුවන් මගීන් එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කෙරුණි .

 



Recommended Articles