විදෙස්ගත ලාංකිකයින් 645 දෙනෙකු දිවයිනට


මගී ගුවන් යානා 16ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව ගුවන් යානා 11 කින් ගුවන් මගීන් 645 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 280 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 113 දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනා , නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ තවත් ගුවන් මගීන් 858 දෙනෙකු ගුවන් යානා 05 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 154 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත 113 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ කිලෝ ග්‍රෑම් 51,000 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 340,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස ගුවන් තොටුපළෙන් විදේශ රටවල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles