වැහිළිහිණි කූඩු සමග සැකකරුවන් 02ක් අල්ලයි


රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වැහිළිහිණි කූඩු කිලෝ දෙකහමාරක් ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (16දා) අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්  සමත්විය .

උඩරට දුම්රිය මාර්ගයේ  ඇල්ල සහ දෙමෝදර සහ බදුල්ල බිංගෙවල් තුළ බැඳතිබූ  වැහිළිහිණි කූඩු මෙසේ කඩාගෙන ඇති බව  විමර්ශන වලදි අනාවරණය වී තිබේ .

සැකකරුවන් දෙදෙනා මෙම වැහිළිහිණි කූඩු කොළඹ සිට පැමිණෙන  ජාවාරම් කරුවෙකුට අළෙවි කිරීමට සූදානම්ව සිටියදී බදුල්ල බදුළුපිටිය ක්‍රීඩාංගනය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

වැහිළිහිණි කූඩුවලින් ලබාගන්නා මැලියම් විශේෂයකින්  සාදනු ලබන සුප් වර්ගයක් ශරීර උත්තේජනය වර්ධනය කරන බවට  පවතින විශ්වාසය නිසා විදේශිකයන් මේ සුප් වලට දැඩි ආකර්ශනයක් ඇති බව  පැවසේ .

මේ නිසා වැහිලිහිණි කූඩු කිලෝව රුපියල් ලක්ෂ 4 දක්වා වූ මිලකට ඇතැම් තරු හෝටල් මිලදී ගන්නා බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය  .

අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල -  අමුණුවැල් පිටිය හා සොරණාතොට  පදිංචි  අවුරුදු 47 සහ 44 යන වයස් ඛාන්ඩවලට අයත්  සැකකරුවන් දෙදෙනෙකි .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles