ව්‍යාජ ලේඛණ පෙන්වා යුරෝපයට පැන යාමට තැත් කර ලාංකිකයෙකු අත්අඩංගුවට


කූඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින් , වෙළෙඳ නැවක සේවය කිරීම සදහා නැවියෙකු ලෙස පෙනී සිටිමින් , යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු 36 හැවිරිදි යාපනය , කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔහු අද දින අලුයම 3.15 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

වෙළෙඳ නැවක සේවය කිරීම සදහා යන නැවියෙකු ලෙස පවසමින් මෙම පුද්ගලයා ද සෙසු නාවිකයන් සමග කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගාමික අංශය වෙත තම ලියකියවිලි ඉදිරිපත් කර තිබේ .

එහිදී ඔහුගේ හැසිරීම් රටාව ගැන සැක සිතූ එම ආගමන - විගමන නිලධාරීන් , ඔහු නැවියෙකු බවට ඉදිරිපත් කළ ලියකියවිලි තහවුරු කර ගැනීම සදහා  තාක්ෂණික පරීක්ෂාවන්ට යොමු කෙරුණි .

තම රැකියාවට අදාලව ඔහු ඉදිරිපත් කළ වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කෙරෙන , නැවියෙකු බව සනාථ කෙරෙන සහතිකය , ඇපකරු සහතිකය , නැව් සමාගමකින් ඔහුට රැකියාව ලබා දෙන බවට වන සහතිකය සහ නැවියෙකු ලෙස පුහුණුව ලද බවට වන සහතිකය ද ඒ අතර විය .

කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය සතු ලේඛන පරීක්ෂණාගාරයේ දී සිදු කළ මෙම තාක්ෂණික පරීක්ෂණ වලදී , මොහු ඉදිරිපත් කළ මෙම සියලු ලිපි ලේඛන කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු විය .

එහිදී මෙම පුද්ගලයාගෙන් මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ  ප්‍රශ්න කිරීම් වලදී , මෙම ලියකියවිලි තමාට රැකියා නියෝජිතවරයෙකු විසින් සකස් කර දුන් බව ප්‍රකාශ කර තිබේ .

එසේම තමන් දෝහා සිට වෙනත් ගුවන් යානයකින් යුරෝපය වෙත ගමන් කිරීමට සැළසුම් කර ගෙන සිටි බවද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ .

පසුව මෙම පුද්ගලයා , ඔහු ඉදිරිපත් කළ මෙම ලියකියවිලි ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .



Recommended Articles