ව්‍යාජ රු.5000 නෝට්ටු මුද්‍රණය කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට


නීතිවිරෝධී  ව්‍යාජව මුද්‍රණය කළ රුපියල් 5000  මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවළක්  කළුතර උතුර පොලීසිය  මගින් අද (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ වෙළඳ සලකට ත්‍රිරෝද රථයකින් ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති එම යුවළ පිළිබඳ සැක සිතූ වෙළඳසල් හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම යුවල අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පදිංචි කළුතර දකුණ පොලිස් වසමේ නිවස පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු එකොළහක් මුද්‍රණය කර  තිබී සොයාගෙන ඇති අතර  ඊටයොදා ගත් ප්‍රින්ටරය සොයාගැනීමට හැකිවූ බව විමර්ශන සිදුකළ පොලිස්  නිලධාරීන්  පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වයස අවුරුදු  47 වියෙහි පසුවන දෙදෙනෙකි. සැකකාර අඹුසැමි යුවළ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර උතුර පොලිස් ස්ථානයේ  වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර  මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්   සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා .



Recommended Articles