ලන්ඩන් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය වියානා වලට ගොඩ බස්සවයි


එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන්  05/01 දින පිටත් වූ ගුවන් යානය තුළ වූ ගුවන් මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය ඔස්ට්‍රියාවේ වියානා ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම නිසා එම ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන් මෙන්ම ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන්ට ද හෝටල් පහසුකම් සළසා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගත් බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානය මගීන් 272 ක් රැගෙන එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

එහෙත් එම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම නිසා , ඒ වනවිට ඔස්ට්‍රියා ගුවන් සීමාවට ඇතුළු වී තිබූ මෙම ගුවන් යානය , ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඔස්ට්‍රියාවේ වියානා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවන් පියවර ගෙන තිබුණි .

 එම කටයුතු අවසන් වී යළිත් හීත්‍රෝ ගුවන් තොටුපොළ වෙත යාමට කාළය ප්‍රමාණවත් නොවීම නිසා , මෙම ගුවන් යානය තුළ සිටි ගුවන් මගීන් වියානා ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි .

ඉන්පසුව පසු දින , එනම් 05/02 දින  එම ගුවන් මගීන් රැගෙන ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා මෙම ගුවන් යානය පිටත් වූ අතර , මෙම ගුවන් යානය එදින රාත්‍රී 09.30 හීත්‍රෝ ගුවන් තොටුපොළ තුළ ගොඩ බැස්සවීමට හැකි වී තිබුණි .

එහෙත් ඒ වනවිට 05/01 දින හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට  සූදානම් වී සියලුම නිශ්කාශන කටයුතු නිමා කර ගෙන සිටි ගුවන් මගීන් ද , ඔවුන් ගමන් කිරීමට නියමිත යූ.එල්.- 504 දරන ගුවන් යානය තවදුරටත් හීත්‍රෝ ගුවන් තොටුපොළ වෙත පැමිණ නොමැති නිසා එම ගුවන් මගීන් ද එම ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් යානා වල ගමන් කළ මගීන්ට , මෙම ප්‍රමාද වීම නිසා සිදු වූ අපහසුතා වලට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කනගාටුවට ප්‍රකාශ කර සිටී .



Recommended Articles