ලක්‍ෂ 51ක දුම්වැටි කටුනායකින් අල්ලයි


නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි   රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 51,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 258 ක තොගයක් සමග  ඒවා රැගෙන ආ  ගුවන් මගීන් දෙදෙනෙකු ද ගුවන් තොටුපොළ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/23 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

 මේ අතරින් එක් ගුවන් මගියෙකු හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි . ඇය නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විවිධ භාණ්ඩ මෙරටට අලෙවි කිරීමේ යෙදී සිටින ව්‍යාපාරික කාන්තාවකි .

ඇය 05/23 දින අලුයම 05.15 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය සිය ගමන් මල්ලේ සගවා ගෙන රුපියල් දහ හත් ලක්ෂ විසි දහසක් වටිනා " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි 17,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 86 ක් සගවා ගෙන පැමිණ තිබුණි .

මීට අමතරව කොළඹ , මෝදර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු විසින් ද විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකකට අයත් දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . 

ඔහු 05/23 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින්  රුපියල් විසි හතර ලක්ෂ හැට දහසක් වටිනා " මැන්චෙස්ටර් "වර්ගයේ දුම්වැටි 24,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 123 ක් රැගෙන විත් තිබුණි .

මීට අමතරව  මෙම ව්‍යාපාරිකයා විසින් රුපියල් නව ලක්ෂ අසූ දහසක් වටිනා " ප්ලැටිනම් " වර්ගයේ දුම්වැටි 
  9,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 49 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන රැගෙන පැමිණ තිබුණි .

 මෙසේ අත් අඩංගුවට ගත්  මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් එළඹෙන 05/29 දින , ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි සියල්ල ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles