ලක්ෂ 80ක මුතු සමඟ තිදෙනකු අත්අඩංගුවට


නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ අසූවක මිලකට මුතු අලෙවි කිරීමට සූදානම් වූ බව කියන තිදෙනකු ඊයේ (6) මුතුඇට 1010ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිරිඳිවැල, හංවැල්ල සහ අත්තනගල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 44 හැවිරිදි දෙදනකු සහ 28 හැවිරිදි අයකු බව නිලධාරිහු කියති.

නාවික හමුදාවේ හම්බන්තොට බුද්ධි අංශ නිලධාරින්ගේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ බුද්ධි අංශ නිලධාරින්ගේ තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

රුපියල් ලක්ෂ අසූවක මිලකට උපාය දූතයකුගේ මාර්ගයෙන් මෙම මුතු මිලදී ගන්නා මුවාවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරිහු සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් මුතුඇට ග්‍රෑම් 605කින් යුතු බව නිලධාරිහු කියති. සැකකරුවන් පැමිණි බව කියන වෑන් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles